5. 5. 3. 5.
[ප්රථම කුලූපග සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කුලෝපග (කුලයන්හි හැසිරෙන) මහණහු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නො පිළිවිසැ ගම්වැදිමෙහි ඇවැතට අවදනේ ය. රහස්ගතව (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. පිළිසන් අස්නෙහි (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. මාගමකට සපස්වදනෙකින් මතුයෙහි දහම් දෙසන්නේ ඇවැත් අවදනේය. කාමසංකල්ප බහුලව වෙසෙයි.
මහණෙනි, කුලෝපගයා කෙරෙහි මේ ආදීනව පසයි.
5. 5. 3. 6.
[ද්විතීය කුලූපග සූත්රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කල්ගෙවා කුලෙහි හැනී වසන කුලෝපග මහණහට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නිරතුරු මාගමකගේ දර්ශනය වෙයි. දර්ශනය වත්ම සසඟ වෙයි. සංසර්ගය වත් ම විශ්වාසය වෙයි. විශ්වාසය ඇතිවත්ම රාගයාගේ බැස ගැණීම වෙයි. රාගයෙන් බැසගන්නා ලද සිත් ඇතියහු විසින් “අභිරති (කැමැත්තක්) නැතිවැ බඹසර රක්නේ හෝ වෙයි, අන්යතර කිලිටිසහිත අවැතකට අවදනේ හෝ වෙයි, සිකපද ප්රත්යාඛ්යාන (හැරලීම) කොට හීන (ගිහී) භාවයට හෝ යන්නේ ය” යන තෙල කරුණ කැමති විය යුතුයි.
මහණෙනි, කල් ඉක්මවා කුලයෙහි හැනී වෙසෙන කුලෝපග මහණහට මේ ආදීනව පසයි.
5. 5. 3. 7.
[භොග සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, භෝගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
භෝගයෝ අග්නිසාධාරණ වෙති. භෝගයෝ උදකසාධාරණ වෙති. භෝගයෝ රාජසාධාරණ වෙති. භෝගයෝ සොරුනට සාධාරණ වෙති. භෝගයෝ අප්රිය දායාදයන් (තමහට ප්රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.
මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්රදාරදාසකර්මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්රාමාත්යයන් (මිතුරු සහකරුවන්) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්ෂිණා පිහිටුවයි.
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසයි.
5. 5. 3. 8.
[උස්සූරභත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, හිරුනැගි බොහෝ දහවල් අහර පිසින කුලයෙහි මේ දොස් පසෙකි.
සත්කාරාර්හ යම් අතිථිහූ (ආන්තුකයෝ) වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ. ඒකභක්තික වූ රාත්රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණු කෙනෙක් වෙත් නම්, නිසි කල්හි ඔවුන් නො පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ විමුඛව කර්ම (වැඩ හැර හිඳිත්). අසමයෙහි වැළඳූ භෝජනය එකෙණෙහි ඕජොරහිත වෙයි.
මහණෙනි, බොහෝ දහවල් කොට අහර පිසින කුලයෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, නිසි කල්හි අහර පිසින කුලෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
යම් සත්කාරාර්හ අතිථිහූ වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. ඒකභක්තික වූ රාත්රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණෝ වෙත් නම්, ඔවුන් සුදුසු කල්හි පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ අවිමුඛ (උත්සුක) වූවාහු කර්ම කරන්නාහ. සුදුසු කාලයෙහි වැළඳූ අහර එකෙණෙහි ඕජස් ඇතියේ වෙයි.
මහණෙනි, සමයභක්තකුලයෙහි මේ අනුසස් පස යි.
5. 5. 3. 9.
[ප්රථම කණ්හසප්ප සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කෘෂ්ණසර්පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්රය, දුර්ගන්ධය, සභිරුකය, ප්රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්රද්රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්පයා කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්ර ය, දුර්ගන්ධ ය,සභිරුකය, ප්රතිභය සහිතය, මිත්රද්රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.