5. 5. 3. 2.
[ද්විතීය දීඝචාරික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අවස්ථිත චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අධිගත විශේෂයට නො පැමිණෙයි. අධිගත විශේෂය පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් අවිශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නො වෙයි.
මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත චාරිකායෙහි යෙදී වසනුවහට මේ ආදීනව පසයි.
මහණෙනි, සමවස්ථිත චාරයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අනධිගත විශේෂයට පැමිණෙයි. අධිගත නො පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් විශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රවය නො පහස්නේ ය. මිතුරන් ඇතියේ වෙයි.
මහණෙනි, සමවස්ථිත චාරිකායෙහි මේ අනුසස් පස යි.
5. 5. 3. 3.
[ප්‍රථම අතිනිවාස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, අතිනිවාසයෙහි (පමණට වැඩිකල් එක්තැන්හි විසීමෙහි) මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ භාණ්ඩ රැස්කරණුයේ බහු භාණ්ඩික වෙයි. බොහෝ බෙහෙසද් රැස්කරණුයේ බහුභේසජ්ජ වෙයි. බහුකෘත්‍ය ඇතියේ බොහෝ කරණී ඇතියේ කිංකර්‍තව්‍යයන්හි ව්‍යක්ත (කළයුතු කිමැයි සෙවීමෙහි ඇලුණේ) වෙයි. ගෘහස්ථප්‍රව්‍රජිතයන් හා එක්වී අනනුලෝම වූ (නුසුදුසු) ගිහීසංසර්‍ගයෙන් හැනී වෙසෙයි. එ අවසින් නික්මයන්නේ නමුදු සාපේක්‍ෂක වූයේ නික්ම යෙයි.
මහණෙනි, අතිවාසයෙහි මෙ දොස් පසයි.
මහණෙනි, සමවස්ථිත වාසයෙහි (සුදුසකල් විසීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ භාණ්ඩ රැස් නො කරණුයේ බහු භාණ්ඩික නො වෙයි. බොහෝ බෙහෙසද් රැස් නො කරණුයේ බහුභේසජ්ජ නො වෙයි. බහුකෘත්‍ය නැතියේ බොහෝ කරණී නැතියේ කිංකර්‍තව්‍යයන්හි ඇලුණේ නො වෙයි. ගිහි පැවිද්දන් හා එක්නොවී අනුලොම් නො වූ ගිහි සසඟින් නො හැනී වෙසෙයි. එ අවසින් නික්ම යනුයේ ද අපේක්‍ෂා නැතිව නික්ම යෙයි.
මහණෙනි, සමවස්ථිත වාසයෙහි මේ අනුසස් පසයි.
5. 5. 3. 4.
[ද්විතීය අතිනිවාස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, අතිනිවාසයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ආවාසයෙහි මසුරු වෙයි. කුලයෙහි මසුරු වෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු වෙයි. ධර්‍මයෙහි මසුරු වෙයි.
මහණෙනි, මේ අතිනිවාසයෙහි ආදීනව පස යි.
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ආවාසයෙහි මසුරු නොවෙයි. කුලයෙහි මසුරු නොවෙයි. ලාභයෙහි මසුරු නොවෙයි. ගුණයෙහි මසුරු නොවෙයි. ධර්‍මයෙහි මසුරු නොවේ.
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ ආනිසංස පසයි.