5. 5. 2. 9.
[අග්ගි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ගින්නෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ඇසට අහිත වෙයි. දුර්වර්‍ණ කරනුයේ වෙයි. දුර්‍වල කරනුයේ වෙයි. ගණසඞ්ගණිකා වඩනුයේ වෙයි. තිරශ්චීනකථා පිණිස පවත්නේ වේ.
මහණෙනි, අගතියෙහි මේ පස් ආදීනව යි.
5. 5. 2. 10.
[මධුරා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මධුරානගරයෙහි මේ ආදීනව පසෙක. කවර පසෙක යත්:
විෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්‍යාල යක්‍ෂයන් ඇතියේ ය. දුර්‍ලභ පිණ්ඩපාත ඇතියේ ය.
මහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි.
අක්කෝසක වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
අක්කෝසක සූත්‍රය, භණ්ඩන සූත්‍රය, සීල සූත්‍රය, බහුභාණී සූත්‍ර ය, අක්ඛන්ති සූත්‍රදෙක ය, අපාසාදික සූත්‍ර දෙක ය, අග්ගි සූත්‍ර ය, මධුරා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
3. දීඝචාරික වර්‍ගය
5. 5. 3. 1.
[ප්‍රථම දීඝචාරික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත (අනියම්) චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අශ්‍රැත ධර්‍මය නො අසයි. ශ්‍රැතය පිරිසිදු නො කෙරෙයි. මඳ මඳ ව ඇසූ ධර්‍මයෙන් අවිසාරද (සොම්නසට නො පැමිණියේ) වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නොවෙයි.
මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අනියම් චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.
මහණෙනි, සමවස්ථිත (අවස්ථානුරූප) චාරිකායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අශ්‍රැත ධර්‍මය අසයි. ශ්‍රැතය පිරිසිදු කෙරෙයි. අසන ලද ඇතැම් ශ්‍රැතයෙන් විසාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව නො පහස්නේ වෙයි. මිතුරන් ඇතියේද වෙයි.
මහණෙනි, මේ සමවස්ථිත චාරිකායෙහි අනුසස් පස යි.
5. 5. 3. 2.
[ද්විතීය දීඝචාරික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අවස්ථිත චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අධිගත විශේෂයට නො පැමිණෙයි. අධිගත විශේෂය පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් අවිශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නො වෙයි.
මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත චාරිකායෙහි යෙදී වසනුවහට මේ ආදීනව පසයි.
මහණෙනි, සමවස්ථිත චාරයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අනධිගත විශේෂයට පැමිණෙයි. අධිගත නො පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් විශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රවය නො පහස්නේ ය. මිතුරන් ඇතියේ වෙයි.
මහණෙනි, සමවස්ථිත චාරිකායෙහි මේ අනුසස් පස යි.