5. 5. 1. 8.
[දන්තකට්ඨ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.
මහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි.
මහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.
5. 5. 1. 9.
[ගීතස්සර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්‍ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.
5. 5. 1. 10.
[මුට්ඨස්සති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්‍රත්‍යවේක්‍ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්‍ර) මිදෙයි.
මහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
කිම්බිලවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝවිනිබන්‍ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය දැයි දශයෙකි.