5. 5. 1. 6.
[විනිබන්‍ධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මේ චිත්තයාගේ විනිබන්‍ධයෝ (සිත වෙළා බැඳලන ධර්‍මයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙහි නො පහවූ රාග ඇතියේ නො පහවූ ඡන්‍ද ඇතියේ නො පහවූ ප්‍රේම ඇතියේ නො පහවූ පිපාසා ඇතියේ නො පහවූ පරිදාහ ඇතියේ නො පහවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ම මහණෙක් කාමයන්හි අවිගත රාග ඇතියේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගත ප්‍රේම ඇතියේ අවිගත පිපාසා ඇතියේ අවිගත පරිදාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. මෙ චිත්තයාගේ ප්‍රථම විනිබන්‍ධ වෙයි.
තවද මහණෙනි, ස්වකීය කායයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ දෙවන විනිබන්‍ධය වේ] ... බාහිර රූපයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ තෙවන විනිබන්‍ධය වේ.] ... කැමති තාක් කුස්පුරා අහර වළඳා ශය්‍යාසුඛයෙහි හා පාර්‍ශවසුඛයෙහි හා නිද්‍රාසුඛයෙහි හා යෙදුනේ වාසය කරයි ... [චිත්තයාගේ මේ සිව්වන විනිබන්‍ධය වේ.] … අන්‍යතර දේවනිකායක් පතා ‘මම මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තවසින් වේවයි බ්‍රම්සරින් වේවයි මහායශස්ක දෙවියෙක් හෝ (අල්පයශසක දෙවියන් අතර) අප්‍රකට දෙවියෙක් හෝ වන්නෙමි’ යි බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේය. මහණෙනි, යම් මහණෙක් මම් මේ සිවුපිරිසිදු සිලින් වේවයි ව්‍රතසමාදානයෙන් වේවයි තපචරණයෙන් වේවයි දේවයෙක් හෝ අන්‍යතර දේවයෙක් හෝ වන්නෙමි’යි එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම්, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමෙකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම්, චිත්තයාගේ මේ පස්වන විනිබන්‍ධ යි.
මහණෙනි, මොහු පස්දෙන චිත්තයාගේ විනිබන්‍ධයෝ යි.
5. 5. 1. 7.
[යාගු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
මහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.
5. 5. 1. 8.
[දන්තකට්ඨ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.
මහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි.
මහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.
5. 5. 1. 9.
[ගීතස්සර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්‍ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.
5. 5. 1. 10.
[මුට්ඨස්සති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්‍රත්‍යවේක්‍ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්‍ර) මිදෙයි.
මහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
කිම්බිලවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝවිනිබන්‍ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය දැයි දශයෙකි.