5. 5. 1. 3.
[අජානීය සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත රජුගේ භද්ර අශ්වාජානීයයා රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. රජුගේ රාජාඞ්ග සඞ්ඛ්යාවට ම යෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්වයෙන් (අවඞ්කගමන), ජවයෙන (පදජවය), මෘදුත්වයෙන (සිරුරුමෘදුබව), ක්ෂාන්තියෙන (ඉවසීම), සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත රජුගේ භද්රාශ්වාජානීය රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්යාවට ම යෙයි.
මහණෙනි, එ සෙයින් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනෙය්ය වෙයි. පාහුන්යෙය වෙයි. දක්ඛිණෙය්ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්වය (ඥානයාගේ ඍජු ගමන), ජවය (සූර ඥානවත්භාවය) මෘදුත්වය (මෘදුසිල් ඇති බව), ක්ෂාන්තිය (අධිවාසන ක්ෂාන්තිය), සුරතභාවය යන මෙයිනි. මහණෙනි, මෙ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ආහුනෙය්ය වෙයි. පාහුනෙය්ය වෙයි. දක්ඛිණෙය්ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ යයි
5. 5. 1. 4.
[බල සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල පසෙකි. කවර පසෙක යත්:
ශ්රද්ධාබලය, ශ්රීබලය, ඔත්තප්පබලය, වීර්ය්යබලය, ප්රඥාබල යි. මහණෙනි, මේ බල පස යි.
5. 5. 1. 5.
[චේතෝඛිල සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ චේතෝඛිල (සිත්හි තදබැව්) පසෙක. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්ථරුන් කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. අධිමෝක්ෂ නො කෙරෙයි. ප්රසාද නො කෙරෙයි. මහණෙනි, යම් මහණෙක් ස්ථරුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, අධිමෝක්ෂ නො කෙරේ ද, සම්ප්රසාදය නො කෙරේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්රියාව පිණිස ප්රධන්වීර්ය්ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සාතත්යය පිණිස ප්රධන්වීර්ය්ය පිණිස නො නැමේ නම්, මේ ප්රථම චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්මයෙහි සැක කරයි ... [ඔහුගේ සිත ... නො නැමෙයි ... මේ දෙවන චේතෝඛිලයි] සඟුන් කෙරෙහි සැක කරයි. ... [ඔහුගේ සිත ... නොනැමෙයි ... මේ තුන්වන චේතෝඛිලයි]. ශික්ෂායෙහි සැක කරයි ... [ඔහු ගේ සිත ... නො නැමෙයි. මේ සතරවන චේතෝඛිලයි]. සබ්රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇතියේ ගැටුනු සිත් ඇතියේ හටගත් (ක්රෝධ) හුල් ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුන් කෙරෙහි කිපියේ ගැටුනුසිත් ඇතියේ හටගත් හුල් ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්රියා පිණිස ප්රධන්වීර්ය්ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්රධන්වීර්ය්ය පිණිස නො නැමේද, මෙ පස්වන චේතෝඛිල යි.
මහණෙනි, මෙ චේතෝඛිල පසයි.
5. 5. 1. 6.
[විනිබන්ධ සූත්රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මේ චිත්තයාගේ විනිබන්ධයෝ (සිත වෙළා බැඳලන ධර්මයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙහි නො පහවූ රාග ඇතියේ නො පහවූ ඡන්ද ඇතියේ නො පහවූ ප්රේම ඇතියේ නො පහවූ පිපාසා ඇතියේ නො පහවූ පරිදාහ ඇතියේ නො පහවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ම මහණෙක් කාමයන්හි අවිගත රාග ඇතියේ අවිගත ඡන්ද ඇතියේ අවිගත ප්රේම ඇතියේ අවිගත පිපාසා ඇතියේ අවිගත පරිදාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්රියා පිණිස ප්රධන්වීර්ය්ය පිණිස නො නැමෙයි. මෙ චිත්තයාගේ ප්රථම විනිබන්ධ වෙයි.
තවද මහණෙනි, ස්වකීය කායයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ දෙවන විනිබන්ධය වේ] ... බාහිර රූපයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ තෙවන විනිබන්ධය වේ.] ... කැමති තාක් කුස්පුරා අහර වළඳා ශය්යාසුඛයෙහි හා පාර්ශවසුඛයෙහි හා නිද්රාසුඛයෙහි හා යෙදුනේ වාසය කරයි ... [චිත්තයාගේ මේ සිව්වන විනිබන්ධය වේ.] … අන්යතර දේවනිකායක් පතා ‘මම මේ ශීලයෙන් වේවයි ව්රතයෙන් වේවයි තවසින් වේවයි බ්රම්සරින් වේවයි මහායශස්ක දෙවියෙක් හෝ (අල්පයශසක දෙවියන් අතර) අප්රකට දෙවියෙක් හෝ වන්නෙමි’ යි බ්රහ්මචර්ය්යය රක්නේය. මහණෙනි, යම් මහණෙක් මම් මේ සිවුපිරිසිදු සිලින් වේවයි ව්රතසමාදානයෙන් වේවයි තපචරණයෙන් වේවයි දේවයෙක් හෝ අන්යතර දේවයෙක් හෝ වන්නෙමි’යි එක්තරා දේවනිකායක් පතා බ්රහ්මචර්ය්ය රක්නේ නම්, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්රියා පිණිස ප්රධන්වීර්ය්යය පිණිස නො නැමෙයි. යමෙකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්රියා පිණිස ප්රධන්වීර්ය්යය පිණිස නො නැමේ නම්, චිත්තයාගේ මේ පස්වන විනිබන්ධ යි.
මහණෙනි, මොහු පස්දෙන චිත්තයාගේ විනිබන්ධයෝ යි.
5. 5. 1. 7.
[යාගු සූත්රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
මහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.
5. 5. 1. 8.
[දන්තකට්ඨ සූත්රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.