ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි.
5. 4. 3. 8.
[රාජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරිස් පණිවා හැරපියා පණිවායෙන් දුරු වූයේ වේ යයි රජහු තෙල පුඟුල් ගෙණ පණිවා විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ තොප රටින් නෙරති හෝ යම් මැ රිසි දැයක් කෙරෙති හෝ යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ” යි. වහන්ස, තෙල කරුණ නැත් මැ ය. මහණෙනි, මැනැවි, මා විසිනුදු මහණෙනි, “මේ පුරිස්පණිවා හැරපියා පණිවායෙන් වැළැකියේ වේ ය”යි රජහු තෙල පුඟුල් ගෙණ පණිවායෙන් වැළැකීම් හේතුයෙන් නසති හෝ (දඟගෙහිලා) බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් කෙරෙති හෝ” යි තෙල කරුණ නොම දක්නා ලද, නො මැ අසන ලද.
තවද ඔහු විසින් කළ ඒ පාපකර්‍මය “මෙ පුරුෂ තෙම ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කළැ” යි එසේ ම දන්වති. රජවරු එ පුඟුල්හු අල්වාගෙන ප්‍රාණඝාතහේතුයෙන් නසන්නාහු හෝ බඳනාහු හෝ රටින් නෙරනාහු හෝ යම් මැ රිසි වූ දැයක් කරන්නාහු හෝ වෙති. මෙ වැන්නක් තොප විසින් දකිනා ලද විරූ හෝ අසන ලද විරූ හෝ ඇත් දැ? යි. වහන්ස , අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් වෙයි. ඇසෙන්නේත් වේ ය යි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පරුෂ අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ යයි තෙල පුඟුල් රජහු අල්වාගෙන අයිනාදනින් වැළකීම් හේතුයෙන් නසා ලති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ රිසි පරිදි හෝ යමක් මැ කෙරෙත්” ය යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මැනැව මහණෙනි, “මේ පුරුෂයා අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල්හු අල්වාගෙන අයිනාදනින් විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් හෝ කෙරෙතැයි” තෙල මා විසිනුදු නොම දක්නා ලද, නො අසන ලදැ යි.
වැලිත් “මේ පුරුෂයා ගමින් වේ ව යි වලින් වේ ව යි ස්තෙය සඞ්ඛ්‍යාත අයින් (නුදුන් දැය) ගත්තේ ය” යි ඔහු විසින් කළ එ පාපකර්‍මය එ ලෙසින් ම දන්වති. රජහු ඔහු අල්වාගෙන අයිනාදන් හේතුයෙන් නසන්නාහ යි ද බඳනාහ යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරන්නාහ යි ද යන මෙ බඳු දැයෙක් තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් වේ ය යි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂයා කාමයෙහි මිසහසර හැරැපියා කාමයෙහි මිසහසරින් වැළකියේ වේ ය” යි රජහු එ පුඟුල් රැගෙන කාමයෙහි මිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමති දැයක් හෝ කෙරෙති” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, “මෙ පුරුෂයා කාමයෙහි මිථ්‍යාචාරය හැරපියා කාමමිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයෙන් නසති යි ද බඳිති යි ද රටින් නෙරති යි ද යථාප්‍රත්‍යයක් කරති” යි ද යන තෙල කරුණ මා විසිනුදු නො ම දක්නා ලද, නො ම අසන ලද.
වැලිදු “මෙ පුරුෂයා පරඹුන් කෙරෙහි පර කුමාරීන් කෙරෙහි මිථ්‍යාචාරයට පැමිණියේ යයි එ පරිද්දෙන් ම ඔහුගේ ඒ පාපකර්‍මය දන්වත්. රජවරු ඔහු ගෙණ කාමයෙහි මිථ්‍යාචාරහේතුයෙන් නසති යි හෝ කාරාගෘහයෙහි බඳනාහ යි හෝ රටින් නෙරණාහ යි හෝ කැමැති පරිදි කරන්නාහ” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් ඇතැයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මුසුවා හැරපියා මුසවායෙන් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල් ගෙණ මුසවායෙන් විරමණප්‍රත්‍යයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති දැයක් හෝ කෙරෙති” යි දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, තොප විසින් “මෙ පුරුෂ මුසවාහැරපියා මුසවායෙන් වැළැකියේ වේ යයි රජහු ඔහු අල්වාගෙන මුසාවායෙන් විරමණප්‍රත්‍යයයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති පරිදි හෝ කෙරෙත්” ය යි මා විසිනුදු නො ම දක්නා ලද, නො අසන ලදැයි.