5. 4. 1. 3.
[තුන්වැනි සම්මත්තනියාම සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුශලධර්මයෙහි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය නොවේ. කවර පසෙකින යත්:
ගුණමකු වූයේ ගුණමකුසිතින් මඩනා ලදුයේ ධර්මය අසයි. උපාරම්භ චිත්ත (වාද නගන සිත්) ඇතියේ සිදුරු සොයන සුලුයේ ධර්මය අසයි. තදබැව් ඇතියේ ධර්ම දේශකයා කෙරෙහි ක්රෝධයෙන් ඝැටුනු සිතැත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොලු වූයේ දුෂ්ප්රඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වෙයි.
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත වූයේ ධර්මය අසන්නේ නමුදු කුශලධර්මයෙහි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට අභව්ය වෙයි.
මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත වූයේ දහම් අසන්නේ කුශලධර්මයෙහි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වෙයි. කවර පසෙකින යත්:
ගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි. උපාරම්භචිත්ත රහිත වූයේ රන්ඩ්රගවේෂී නො වූයේ දහම් අසයි. ධර්මදේශකයා කෙරෙහි ක්රෝධයෙන් නො ඝැටුනු සිතැතියේ තදබැව් නැතියේ වෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්රඥාවත් වෙයි. නො දත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ව දහම් අසනුයේ කුශලධර්මයෙහි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වේ යයි.
5. 4. 1. 4.
[පළමුවැනි සද්ධම්මසම්මෝස සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ ප්රමෝෂය (වනඝ) පිණිස අන්තර්ධානය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් නො අසති. සකස් කොට දහම් නො පිරිවහති. සකස් කොට දහම් නො ධරති. සකස් කොට ධැරූ ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා නො කරති. සකස් කොට අර්ත්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය නො පිළිපදිත්.
මහෙණනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නාහයි.
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් අසති. සකස් කොට දහම් පිරිවහති. සකස් කොට දහම් ධරති. සකස් කොට ධැරූ ධර්මයන්ගේ අර්ත්ථය පිරික්සති. සකස් කොට අර්ත්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය පිළිපදනා හ.
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහයි.
5. 4. 1. 5.
[දෙවැනි සද්ධම්මසම්මෝස සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සූත්රය, ගෙයය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්මය, වේදල්ලය යන ධර්මය ප්රගුණ නො කරත්. මහණෙනි, මේ ප්රථම ධර්මය සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අතුරුදහන්වීම පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්ෂූහු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය විතර විසින් පරහට නො දෙසන්නාහ. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නේය.
තවද මහණෙනි, මහණහු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය පරහට විස්තර විසින් වනපොත් නො කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අතුරුදහන පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්ෂූහු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය විස්තර විසින් හැදෑරීම් නො කෙරෙත්. මහණෙනි, මෙ සතරවන කරුණ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්කණ නො කරත්, අනුවිචාරණ නො කරත්. සිතින් අනුප්රේක්ෂණ නො කරත්. මහණෙනි, මෙ පස්වන කරුණ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිය අන්තර්ධානය පිණිස පවත්නේය.
මහණෙනි, මේ පඤ්ච ධර්මයෝ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නාහ යි.
මහණෙනි, මේ කාරණයෝ පස් දෙනෙක් සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අප්රමෝෂය පිණිස අතුරුදහන් නොවනු පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්ෂූහු සූත්රය, ගෙයය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්මය, වේදල්ලය යන ශාස්තෘධර්මය ප්රගුණ කරත්. මහණෙනි, මේ පළමුවන කරුණ සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අප්රමෝෂය පිණිස අන්තර්ධාන නො වනු පිණිස වැටෙයි.