5. 3. 5. 7.
[අසප්පුරිස දාන සූත්රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
නො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
මහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
සකසා දෙයි. ගරු කොට දෙයි. සියතින් දෙයි. නිරතුරු කොට දෙයි. ආගමනදෘෂ්ටි ඇති ව දෙයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 8.
[සප්පුරිස දාන සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
ශ්රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.
මහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
මහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. පුත්රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්ත්ථයෝ ප්රචුර වෙත්.
මහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
මහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්රිය දායාදයන්ගෙන් (තමන්ට අප්රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 9.
[පළමුවැනි සමයවිමුත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්මයෝ පස්දෙනෙක් විද්යමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
කර්මාරාමතා ය, භාෂ්යාරාමතා ය, නිද්රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා නොකරන්නේ ය.