5. 3. 5. 8.
[සප්පුරිස දාන සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
ශ්රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.
මහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
මහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. පුත්රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්ත්ථයෝ ප්රචුර වෙත්.
මහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
මහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්රිය දායාදයන්ගෙන් (තමන්ට අප්රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 9.
[පළමුවැනි සමයවිමුත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්මයෝ පස්දෙනෙක් විද්යමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
කර්මාරාමතා ය, භාෂ්යාරාමතා ය, නිද්රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා නොකරන්නේ ය.
මහණෙනි, මෙ පඤ්ච ධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
නවකර්මාන්තයෙහි නො ඇලීම ය, කථායෙහි නො ඇලීම යි, නිද්රායෙහි නො ඇලීම ය, සමූහයන් කෙරෙහි නො ඇලීම ය, යථාවිමුක්තචිත්තය (ඒ ඒ කෙලෙස් යටපත් වීමෙන් සිත මිදුනු අයුරු) ප්රත්යවේක්ෂා කරන්නේ ය.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ යි.
5. 3. 5. 10.
[දෙවැනි සමයවිමුත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ පඤ්චධර්ම කෙනෙක් සමයවිමුක්ත භික්ෂුහුගේ පරිහානිය සඳහා පවත්නාහ. කවර පසෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, ඉන්ද්රියයන්හි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤූතා යි.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ පරිහානිය සඳහා වැටෙත්.
මහණෙනි, මේ ධර්මයෝ පස් දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
නවකම්හි නො ඇල්ම ය, කථායෙහි නො ඇල්ම ය, නිද්රායෙහි නො ඇල්ම ය, ඉන්ද්රියයන්හි ගුප්තද්වාරතා ය (සංවරය), භෝජනයෙහි මාත්රඥතා යි.
මහණෙනි, මෙ ධර්මයෝ පස්දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත් ය යි.
තිකණ්ඩකිවර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
අවජානාති සූත්රය, ආරම්භති සූත්රය, සාරන්දද සූත්රය, තිකණ්ඩකී සූත්රය, නිරය සූත්රය, මිත්ත සූත්රය, අසප්පුරිසදාන සූත්රය, සප්පුරිසදාන සූත්රය, පඨමසමයවිමුත්ත සූත්රය, දුතියසමයවිමුත්ත සූත්රය දැයි දශයෙකි.
තෙවන පණ්ණාසකය සමාප්ත යි.