5. 3. 5. 6.
[භික්ඛුමිත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත භික්ෂුමිත්ර නො සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්මාන්ත කරවන්නේ ය. අධිකරණ ගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි විරුද්ධ වන්නේ ය. දීර්ඝචාරිකායෙහි, ව්යවස්ථා රහිත (යදෘච්ඡා) චාරිකායෙහි යෙදී වසන්නේ ය. කලින් කල ධාර්මික කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට සමුත්තේජනය (උත්සාහවත්) කරවන්නට සම්ප්රහර්ෂණය කරවන්නට ප්රතිබල නො වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත භික්ෂුමිත්ර නො සෙවිය යුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භික්ෂුමිත්ර සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්මාන්ත නොකරවන්නේ ය. අධිකරණ නොගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි ප්රතිවිරුද්ධ නොවන්නේ ය. දීර්ඝචාරිකායෙහිත් යදාච්ඡාරිකායෙහිත් නොයෙදී වසන්නේ ය. කලින් කල දැහැමි කථායෙන් සන්දර්ශනය කරවන්නට සමාදන් කරවන්නට සමුත්තේජන කරවන්නට සම්ප්රහර්ෂණ කරවන්නට ප්රතිබල වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත භික්ෂුමිත්ර සෙවිය යුත්තේ යි.
5. 3. 5. 7.
[අසප්පුරිස දාන සූත්රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
නො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
මහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
සකසා දෙයි. ගරු කොට දෙයි. සියතින් දෙයි. නිරතුරු කොට දෙයි. ආගමනදෘෂ්ටි ඇති ව දෙයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 8.
[සප්පුරිස දාන සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
ශ්රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.
මහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
මහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. පුත්රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්ත්ථයෝ ප්රචුර වෙත්.
මහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
මහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්රිය දායාදයන්ගෙන් (තමන්ට අප්රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 9.
[පළමුවැනි සමයවිමුත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්මයෝ පස්දෙනෙක් විද්යමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
කර්මාරාමතා ය, භාෂ්යාරාමතා ය, නිද්රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා නොකරන්නේ ය.