5. 3. 5. 5.
[නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ යැ. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන සුලු වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන සුලු වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු හෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යැ. කවර පසෙකින යත්:
පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදන් ගැණුමින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි. මුසාවායෙන් වැළකියේ වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වෙයි.
5. 3. 5. 6.
[භික්ඛුමිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්‍මාන්ත කරවන්නේ ය. අධිකරණ ගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි විරුද්ධ වන්නේ ය. දීර්‍ඝචාරිකායෙහි, ව්‍යවස්ථා රහිත (යදෘච්ඡා) චාරිකායෙහි යෙදී වසන්නේ ය. කලින් කල ධාර්මික කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට සමුත්තේජනය (උත්සාහවත්) කරවන්නට සම්ප්‍රහර්‍ෂණය කරවන්නට ප්‍රතිබල නො වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්‍මාන්ත නොකරවන්නේ ය. අධිකරණ නොගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි ප්‍රතිවිරුද්ධ නොවන්නේ ය. දීර්‍ඝචාරිකායෙහිත් යදාච්ඡාරිකායෙහිත් නොයෙදී වසන්නේ ය. කලින් කල දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කරවන්නට සමාදන් කරවන්නට සමුත්තේජන කරවන්නට සම්ප්‍රහර්‍ෂණ කරවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ යි.
5. 3. 5. 7.
[අසප්පුරිස දාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
නො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්‍මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
මහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.