5. 3. 5. 4.
[තිකණ්ඩකී සූත්රය]
41. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නගරසමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූල ආලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇතිව වාස කරන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි අප්රතිකූලසංඥා ඇතිව වෙසේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූලාලම්බනයෙහි දු ප්රතිකූලාලම්බනයෙහි දු ප්රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූලාලම්බනය හා ප්රතිකූලාලම්බනය හා එ දෙක ම දුරලා උපේක්ෂක වැ ස්මෘතිසම්පන්න වූයේ සම්යක්ප්රඥා ඇති වැ වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් පිණිස අප්රතිකූලාලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇති වැ විහරණ කෙරේ ය යත්: “ඇලුම් කටයුතු දහම්හි මට රාගය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මෙ අර්ත්ථය පිණිස අප්රතිකූලාලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේය.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් පිණිස ප්රතිකූලාලම්බනයෙහි අප්රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය යත්: “ද්වේෂයට නිසි (ආලම්බන) ධර්මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය පිණිස ප්රතිකූලාලම්බනයෙහි අප්රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් නිසා අප්රතිකූල වූ ද ප්රතිකූල වූ ද ආලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය යත්: “රජනීය ධර්මයෙහි මට රාගය නහමක් උපදීව” යි. “ද්වේෂයට නිසි ධර්මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය නිසා අප්රතිකූල වූ ද ප්රතිකූල වූ ද ආලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් නිසා ප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලසංඥා ඇති වැ වසන්නේ ය යත්: “ද්වේෂ්ය ධර්මයෙහි මට ද්වේෂය නහමක් පාළ වේව යි, රජනීය ධර්මයෙහි මට රාගය නහමක් පාළ වේව” යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය නිසා ප්රතිකූලයෙහි දු අප්රතිකූලයෙහි දු අප්රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් නිසා අප්රතිකූලය හා ප්රතිකූලය හා එ දෙක හැරපියා උපේක්ෂක වැ ස්මෘතිසම්පන්න වැ නුවණැති වැ විහරණ කරන්නේය යත්: මහණෙනි, “මට කිසිදු අරමුණෙක්හි කොතන්හි දු රජනීයධර්මයෙහි ස්වල්පමාත්ර වූ ද රාගයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ ද්වේෂ්ය ධර්මයන්හි ස්වල්පමාත්ර වූ ද ද්වේෂයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ මෝහනීයධර්මයෙහි ස්වල්පමාත්ර වූ ද මෝහයෙක් නහමක් උපදීවා” යි. මේ අර්ත්ථය නිසා මහණ අප්රතිකූලය ද ප්රතිකූලය ද යන එ දෙක ම හැරපියා ස්මෘතිසම්පන්න ව සම්යක්ප්රඥා ඇති ව උපේක්ෂක ව විහරණ කරන්නේය”යි.
5. 3. 5. 5.
[නිරය සූත්රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ යැ. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන සුලු වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන සුලු වෙයි.