5. 3. 5. 3.
[සාරන්දද සූත්රය]
43. එක් කලෙක භාග්යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේසාලියට පිඬු පිණිස වැඩි සේක.
එසමයෙහි සාරන්දද චෙතියෙහි රැස්ව හුන් පන්සියක් පමණ ලිච්ඡවීන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය. “ලොව්හි පඤ්චරත්නයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි, කවර පඤ්චරත්නයන්ගේ ය යත්: ලොව්හි හස්තිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි අශ්වරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි මණිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි ස්ත්රීරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි ගෘහපතිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි මෙ පඤ්චරත්නයන්ගේ පාළවීම දුර්ලභ වේ”ය යි.
ඉක්බිති එ ලිච්ඡවීහු “එම්බා පුරුෂය, යම් විටෙක තෝ භාග්යවතුන් වහන්සේ වඩනවුන් දක්නෙහි ද, එකල්හි අපට දන්වාලව” යි මාර්ගයෙහි පුරුෂයකු රඳවාලූහ. එ පුරුෂයා භාග්යවතුන්වහන්සේ වඩනාවුන් දුරදීම දිට. දැක එ ලිච්ඡවීන් කරා ගියේ. ගොස් එ ලිච්ඡවීනට තෙල කී: “භවත්නි, අර්හත් සම්යක්සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ වඩනාහ. එයට දැන් කල් දනුව” යි.
එකල්හි එ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි එ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, අයැදුම්හ. භාග්යවතුන් වහන්සේ අනුකම්පා සඳහා සාරන්දද චෛත්යය කරා වඩනා සේක්ව” යි. භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සාරන්දද චෛත්යය කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ එ ලිච්ඡවීනට තෙල කරුණ වදාළෝ:
“ලිච්ඡවීනි, දැන් තෙපි කවර නම් කථායෙකින් යුක්තව රැස්ව හුන්නාව? තොපගේ කවර නම් අතුරුකථායෙක් කොට අඩාළ වී දැ?” යි.
වහන්ස, මෙහි රැස්ව හුන් අප අතර මෙ නම් අතුරු කථායෙක් උපන: “ලෝකයෙහි පඤ්චරත්න කෙනකුන්ගේ පහළවීම දුර්ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්: ලෝකයෙහි හස්තිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි අශ්වරත්නයාගේ පහළ වනු දුලබ ය. ලෝකයෙහි මණිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි ස්ත්රීරත්නයාගේ පාළවනු දුබල ය. ලෝකයෙහි ගෘහපතිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලොව මෙ පස් රුවනුන්ගේ පාළ වනු දුලබ ය” යි.
වස්තුකාමක්ලේශකාමයන්හි අධිමුක්ත (දැඩිසේ ඇලුනු) ලිච්ඡවීන් වන තොප අතර කාමයන් අරභයා ම අතුරුකථා උපනේ ය.
ලිච්ඡවීනි, ලොවැ පඤ්චරත්න කෙනකුන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්:
ලොවැ තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්රවිදිත ධර්මවිනය දෙසන පුද්ගලයා දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්රවිදිත වූ දේශිත ධර්මවිනය දැනගන්නා පුද්ගලයා දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්රවිදිත වූ දේශිත ධර්මවිනය දන්නේ ම ධර්මානුධර්මය (ලෝකෝත්තර ධර්මප්රතිපදාව) අනුව පිළිපන් පුද්ගල දුර්ලභ වෙයි. ලොවැ කෘතඥ කෘතවේදී පුද්ගල දුර්ලභ වෙයි.
ලිච්ඡවීනි, ලොවැ මේ පඤ්චරත්නයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වේ යයි වදාළසේක.
5. 3. 5. 4.
[තිකණ්ඩකී සූත්රය]
41. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නගරසමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූල ආලම්බනයෙහි ප්රතිකූලසංඥා ඇතිව වාස කරන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි අප්රතිකූලසංඥා ඇතිව වෙසේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූලාලම්බනයෙහි දු ප්රතිකූලාලම්බනයෙහි දු ප්රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.