5. 3. 5. 2.
[ආරම්භති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ පස්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම (ආරම්භ) ද කෙරෙයි. (එ හේතුයෙන්) විපිළිසර ඇතියේ ද වෙයි. යම් තැනෙක්හි (යම් කරුණෙක්හි) ඔහුට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂව නිරුද්ධ වෙත් නම්, ඒ (අර්‍හත්‍වඵලසමාධි) චේතෝවිමුක්තිය හා (අර්‍හත්‍වඵලඥාන) ප්‍රඥාවිමුක්තිය ඇති සැටියෙන් (අර්‍හත්‍වාධිගම නැති හෙයින්) නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ ය, (ඇවැතින් නැඟීසිටි හෙයින්) විපිළිසර ඇතියේ නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. (ඇවැතින් නැඟී සිටියේ ද) විපිළිසර ඇතියේ වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ නො වෙයි. යම් හෙයෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් දන්නේ ය. (මේ රහත් පුඟුල් ය)
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ හා විපිළිසර ඇතියේ හා වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටි නොදන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආපත්තිව්‍යතික්‍රමයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමාන වෙති. විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ වැඩෙති. ආයුෂ්මත් ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ දුරු කොට චිත්තය (සමාධි-ප්‍රඥා දෙක) වඩනේ මැනැව. එසේ වත් ම ආයුෂ්මත් මේ පස්වන (රහත්) පුඟුල් හා සමසම වන්නේ ය” යි.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ ව නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් නො දන්නේ ද, හේ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට වනාහි ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට සමාධිය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේවත් ම ආයුෂ්මත් තෙල පස්වන පුඟුල් හා සමසම වන්නේ ය”යි.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රමය නො කෙරේ ද, (එහෙත්) විපිළිසර ඇතියේ වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්ට ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමාන නො වෙති. විපිළිසරින් උපන් ආස්‍රවයෝ වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් විපිළිසරින් උපන් ආස්‍රවයන් දුරු කොට චිත්තය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.