5. 3. 4. 9.
[අක්ඛම සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු පසෙකික් සමන්වාගත රාජකීය හස්ති රාජාර්හ නො වෙයි, රාජභෝග්ය නො වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්යාවට ද නො යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව රජුගේ ඇත් රූප නොසහනේ වෙයි. ශබ්ද නොසහනේ වෙයි. ගන්ධ නොසහනේ වෙයි. රස නොසහනේ වෙයි. ස්පර්ශ නොසහනේ වෙයි.
මහණෙනි, රජුගේ ඇත්රජ කෙසේ නම් රූප නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්රාම භූමියට ගියේ ඇත්මුළ හෝ දැක අස්මුළ හෝ දැක රියසෙන් හෝ දැක පාබළසෙන් හෝ දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මැනැවින් නො සිටුනේ ය. සඞ්ග්රාමභූමියට බස්නට නොපොහොසත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්තිරාජයා රූප නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්රාමභූමියට ගියේ ඇත්හඬ වේවයි අසා අස්හඬ වේවයි අසා රියහඬ වේවයි අසා පාබලසෙන්හඬ වේවයි අසා බෙර පණාබෙර සක් තිණව යන තූර්ය්යනාද වේවයි අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. දැඩිව නො සිටුනේ ය. සඞ්ග්රාමභූමියට බස්නට නො පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ ඇත්රජ ශබ්ද නොඉවසන්නේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිනාග කෙසේ නම් ගන්ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්රාමයට ගියේ රජුගේ අභිජාත වූ යම් ඇත්කෙනෙක් සඞ්ග්රාමාවචර වූහු නම්, උන්ගේ මුත්රපුරීෂ ගන්ධය අසා ගැලෙයි. පසුබසී. මනා කොට නොසිටුනේ ය. සංග්රාමවතරණයට නොපොහොනේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත්රජ ගන්ධයනට අක්ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ හස්තියා රසයනට අක්ෂම වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සංග්රාමභූමියට ගියේ එක් දිනෙක තණ දිය දීමෙකින් අපමානික වූයේ (දිනක තණදිය නො ලදුයේ) හෝ, තෘණොදකදාන දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ අපමානිත වූයේ ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මනා සේ නො සිටුනේ ය. සඞ්ග්රාමභූමියට වදනට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ නාග රසයනට අක්ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් සප්රෂ්ටව්යයනට අක්ෂම වේ ය යත්: මහණෙනි, මෙලොව්හි රජුගේ ඇත් සඞ්ග්රාමභූමියට ගියේ එක් ශරවේධයෙකින් හෝ විදුනා ලදුයේ, (ශරවේධ) දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ ශරවේධ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන කෙරෙයි. විසීදන කෙරෙයි. මනා කොට නොසිටුනේ ය. සංග්රාමභූමියට බස්නට නොසමත් වෙයි. මහණෙනි, මෙ සෙයින් රජුගේ ඇත් ස්ප්රෂ්ටව්යයනට අක්ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත රාජකීය නාග රාජාර්ග නො වෙයි. රාජභෝග්ය නො වෙයි. “රාජාඞ්ගයෙක” යන ගණනට නො ම යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනාර්ග නො වෙයි. ප්රාඝුණාර්හ නො වෙයි. දක්ෂිණාර්හ නො වෙයි. අඤ්ජලිකරණාර්හ නො වෙයි. ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නොසහනේ වෙයි. ගන්ධයන් නොසහනේ වෙයි. රසයන් නොසහනේ වෙයි. ස්ප්රෂ්ටව්යයන් නොසහනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ රූපයන් නො ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්ෂුසින් රූපාලම්බන දැක රඤ්ජනයට නිසි රූපයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැක්කේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ රූපයන් නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම මහණ ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රෝතයෙන් ශබ්ද අසා රජනීය ශබ්දයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කරණට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ශබ්දයන් නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගන්ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්රාණයෙන් ගන්ධ අසා රජනීය ගන්ධයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ගන්ධයන් ඉවසනුවට නො හැකි වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ රසයන් නො සහනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රස විඳ රජනීය රසයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ රසයන් ඉවසනුවට අක්ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ස්ප්රෂ්ටව්යයන් ඉවසනුවට අක්ෂම වේය යත්: මහණෙනි, මෙ සස්නෙයි මහණ ස්ප්රෂ්ටව්යය පැහැස රජනීය ස්ප්රෂ්ටව්යයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්රෂ්ටව්යයන් නො සහනේ වෙයි.