5. 3. 4. 10.
[සෝතාර සූත්රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත රාජකීය මහඇත් රාජාර්හ වෙයි, රාජභෝග්ය වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්යාවට යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් අසන්නේ ද වෙයි, නසන්නේ ද වෙයි, රකින්නේ ද වෙයි, ඉවසන්නේ ද වෙයි, යන්නේ ද වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ශ්රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇත්හු ලවා කළ විරූ වේවයි නොකළ විරූ වේවයි යම් ම කාරණයක් කරවා නම්, එය අර්ත්ථ කොට (ඕනෑකමින්) මෙනෙහි කොට මුළු සිතින් ආවර්ජනා කොට යොමු කළ කන් ඇතිව අසයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ශ්රෝතෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහ ඇත් හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඇතු ද නසයි, ඇතැරු ද නසයි, අසු ද නසයි, අසරු ද නසයි, රථය ද නසයි, රථිකයා ද නසයි, පාබළසෙන් ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් රජ හන්තෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් රක්ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඉදිරිකය රක්නේ ය, පශ්චිමකාය රක්නේ ය, ඉදිරි පා රක්නේය, පසු පා රක්නේය, හිස රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙදළ රක්නේ ය, සොඬ රක්නේ ය, වල්පත් රක්නේ ය, ඇතැරු රක්නේ ය. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් රක්ෂිතෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ක්ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් සැත්පහර ඉවසනුයේ වෙයි, කඩුපහර ඉවසනුයේ වෙයි, හී පහර ඉවසනුයේ වෙයි, පොරෝ පහර ඉවසනුයේ වෙයි, බෙර පණාබෙරසක් ගැටබෙර තිණව-ඩිණ්ඩිම බෙර යන තූර්ය්යයන්ගේ මහ හඬ ඉවසනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ක්ෂන්තෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇතු ගිය විරූ වේවයි නොගිය විරූ වේවයි යම් ම දිශාවකට මෙහෙයවා නම්, එ දිගට වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ගන්තෘ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් යුත් රජුගේ මහඇත් රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්යාවට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනෙය්ය වෙයි, පාහුනෙය්ය වෙයි, දක්ඛිණෙය්ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රෝතෘ ද වෙයි. හන්තෘ ද වෙයි, රක්ෂිතෘ ද වෙයි, ක්ෂන්තෘ ද වෙයි, ගන්තෘ ද වෙයි.
මහණෙනි, කෙසේ මහණ ශ්රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතයන් වහන්සේ විසින් ප්රවිදිත ධර්මවිනය දෙසනු ලබත් ම අර්ත්ථ කොට (ආශාවෙන්), මෙනෙහි කොට, සම්පූර්ණ සිතින් ආවර්ජනා කොට, නැඹුරු කළ කන් ඇතිව ධර්මය අසයි. මහණෙනි, මෙසේ මහණ ශ්රෝතෘ වෙයි.
මහණෙනි, කෙසේ මහණ හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්කය සිත්හි නො රඳවයි, දුරු කෙරෙයි, හැරපියයි. විගතාන්ත (ප්රහීණ) කරයි, අභාවයට පමුණුවයි. උපන් ව්යාපාදවිතර්කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කරයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසාවිතර්කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපනුපන් ලමු අකුසල් දහම් වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ හන්තෘ වෙයි.