5. 3. 4. 6.
[දෙවැනි පත්‍ථනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටු පුත් යුවරජ තනතුර පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් මවුපසින් හා පියපසින් හා උභයපක්‍ෂයෙන් සුජාත වූයේ, පිරිසිදු මවුකුස ඇතියේ, සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපකෘෂ්ට නො වෙයි. උත්තමරූපසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ විශිෂ්ට රූපසම්පත් ඇතියේ වෙයි. මවුපියනට ප්‍රියමනාප වෙයි. බලසෙනඟට ප්‍රියමනාප වෙයි. පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ තන්වැසි නුවණින් යුක්ත වූයේ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ වෘද්ධි අර්‍ත්‍ථයන් සිතීමෙහි ප්‍රතිබල වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් ම සුජාතයෙම් පිරිසිදු මවුකුස් ඇතියෙම් සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් අක්‍ෂිප්තයෙම් උපක්‍රෝශ නො ලදුයෙම් වෙමි. කවර හෙයින් මම යුවරජ තනතුරු නො පතම් ද? මම වනාහි පරමවර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයෙම් අභිරූපයෙම් දර්‍ශනීයයෙම් ප්‍රසාදජනකයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි මාපියනට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි බලසෙනඟට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි පණ්ඩිතයෙමි, ව්‍යක්තයෙමි, තන්වැසි නුවණැතියෙම්. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්‍ත්‍ථයන් සිතීමට ප්‍රතිබලයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද?”
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් යුවරජය පතන්නේ ය.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... (ධර්‍මයෝ) ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. සතර සීවටන්හි මොනවට එළඹ සිටි සිත් ඇතියේ වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතිව වාස කරයි, දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො හළ වැර ඇතියේ ස්ථාමවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මැනැවින් දුඃඛක්‍ෂයට යන උදාවියට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි සිල්වත් වෙමි. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘතයෙමි. ආචාරගෝචර සම්පන්නයෙමි. අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුල්ලෙම් වාස කරමි. සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ශ්‍රැතධරයෙමි ශ්‍රැතසන්නිචය ඇතියෙමි, බහුශ්‍රැතයෙමි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථවූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පාළ කෙරෙත් නම්, එබඳු ධර්‍මයෝ මා විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වෙත්. වචනයෙන් ප්‍රගුණ කරණ ලදහ. මනසින් අනුප්‍රේක්‍ෂිතයහ. ප්‍රඥායෙන් සුපිළිවිදුනා ලදහ. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි සතර ස්මෘතිප්‍රස්ථානයෙහි එළඹ සිටි සිහි ඇතියෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතියෙම් වෙසෙමි. කුශලධර්‍මයෙහි නො හළ වීර්‍ය්‍යධූර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය නුවණින් ප්‍රඥාවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් දැ?”යි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතන්නේ යයි.
5. 3. 4. 7.
[අප්පංසුපති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
5. 3. 4. 8.
[භත්තාදක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, රජුගේ ඇත් කරුණු පසෙකින් සමන්‍වාගත වූයේ බොහෝ බත් බුදිනේ ද වෙයි. (අන්‍යයන්ට බාධාවනසේ) ඇවුරු අවකාශ ඇතියේ ද වෙයි. (තන්හි තන්හි) ලඩ හෙළනුයේත් වෙයි. ඇතුන් ගණින කලැ ලහගන්නා සුලුයේ ද වෙයි. රජුගේ හස්තියා මැ යි යන සංඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්: