5. 3. 4. 7.
[අප්පංසුපති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
5. 3. 4. 8.
[භත්තාදක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, රජුගේ ඇත් කරුණු පසෙකින් සමන්‍වාගත වූයේ බොහෝ බත් බුදිනේ ද වෙයි. (අන්‍යයන්ට බාධාවනසේ) ඇවුරු අවකාශ ඇතියේ ද වෙයි. (තන්හි තන්හි) ලඩ හෙළනුයේත් වෙයි. ඇතුන් ගණින කලැ ලහගන්නා සුලුයේ ද වෙයි. රජුගේ හස්තියා මැ යි යන සංඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් රූප නො සහනුයේ වෙයි. ශබ්දයන් නොසහනූයේ වෙයි. ගන්‍ධයන් නොසහනුයේ වෙයි. රස නොසහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනුයේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිනාගයා මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ භක්තාදක ද වෙයි. අවකාශස්ථරණ ද වෙයි. ලඬ හෙළනුයේ ද වෙයි. ලහ ගනුයේ ද වෙයි. “රජුගේ නාගයා ම වේ” යන සඞ්ඛ්‍යාවට ද යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනුයේත් වෙයි. අවකාශ අවුරණුයේත් වෙයි. (ඇඳ) පුටු මඩනේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක” යන සඞ්ඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් නොසහනේ වෙයි. ශබ්දාලම්බනයන් නොසහනේ වෙයි. ගන්‍ධාලම්බනයන් නොසහනේ වෙයි. රසාලම්බනයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් නොසහනේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනේ වෙයි. අවකාශ අවුරණුයේ ද වෙයි. පීඨමර්‍දන කරණුයේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක් ම ය” යන සඞ්ඛ්‍යාවට ද යේ යයි.
5. 3. 4. 9.
[අක්ඛම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු පසෙකික් සමන්‍වාගත රාජකීය හස්ති රාජාර්‍හ නො වෙයි, රාජභෝග්‍ය නො වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට ද නො යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව රජුගේ ඇත් රූප නොසහනේ වෙයි. ශබ්ද නොසහනේ වෙයි. ගන්‍ධ නොසහනේ වෙයි. රස නොසහනේ වෙයි. ස්පර්‍ශ නොසහනේ වෙයි.
මහණෙනි, රජුගේ ඇත්රජ කෙසේ නම් රූප නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාම භූමියට ගියේ ඇත්මුළ හෝ දැක අස්මුළ හෝ දැක රියසෙන් හෝ දැක පාබළසෙන් හෝ දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මැනැවින් නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නොපොහොසත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්තිරාජයා රූප නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාමභූමියට ගියේ ඇත්හඬ වේවයි අසා අස්හඬ වේවයි අසා රියහඬ වේවයි අසා පාබලසෙන්හඬ වේවයි අසා බෙර පණාබෙර සක් තිණව යන තූර්‍ය්‍යනාද වේවයි අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. දැඩිව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ ඇත්රජ ශබ්ද නොඉවසන්නේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිනාග කෙසේ නම් ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ රජුගේ අභිජාත වූ යම් ඇත්කෙනෙක් සඞ්ග්‍රාමාවචර වූහු නම්, උන්ගේ මුත්‍රපුරීෂ ගන්‍ධය අසා ගැලෙයි. පසුබසී. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමවතරණයට නොපොහොනේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත්රජ ගන්‍ධයනට අක්‍ෂම වෙයි.