5. 3. 4. 5.
[පළමුවන පත්ථනා සූත්රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුගේ දෙටුපුත් රාජ්යය පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රියරජුගේ ජ්යේෂ්ඨපුත්ර තෙමේ මවුපසින් හා පියපසින් හා යන දෙපසින් සුජාත වූයේ, පිරිසිදු මවුකුස් ඇතියේ, සත්මුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්රෝෂ නැතියේ වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූයේ ප්රසාද එළවන සුලුයේ අභිරූප වෙයි. මාපියනට ප්රිය මනාප වෙයි. නියම් ගම්දනවු වැස්සනට ප්රිය මනාප වෙයි. හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථ ශිල්ප වේවයි, ධනුශිල්ප වේවයි, ඛඞ්ගශිල්ප වේවයි, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුන්ගේ යම් ශිල්පස්ථානයෝ වෙත් නම්, එහි හික්මුනේ පරිපූර්ණ වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් සුජාතයෙම්, පිරිසුදු මවුකුස් ඇතියෙම්, සත්මුතු පරපුර තෙක් ජාති වාදයෙන් බැහැර නො කරණ ලදුයෙම්, අනුපකෘෂ්ටයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්යය නො පතනෙම් ද? මම් වනාහි දැකුම්කලුයෙම් ප්රසාදජනකයෙම් උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගතයෙම් අභිරූපය යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්යය නො පතන්නෙම් ද? මම වනාහි මා පියනට ප්රියමනාප යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්ය නො පතන්නෙම් ද? මම වනාහි නියම්ගම් දනවුවැස්සනට ප්රිය මනාපයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්යය නො පතන්නෙම් ද? මම වනාහි හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථශිල්ප වේවයි, ඛඩගශිල්ප වේවයි, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුන්ගේ යම් ශිල්පස්ථාන කෙනෙක් වෙත් නම්, එහි හික්මුනෙම් පරිපූර්ණයෙම් වෙමි. කවර හෙයින් මම රජය නො පතන්නෙම් දැ?”යි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජුගේ දෙටුපුත් රජය පතයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආස්රවයන්ගේ ක්ෂයය (නිවන) පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි: “ඒ භාග්යවතුන් වහන්සේ මෙ මෙ කරුණෙනුදු අර්හත්හ. සම්යක්සම්බුද්ධයහ. විද්යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්යසාරථිහ. දෙව් මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත් හ” යි තථාගතයන් වහන්සේගේ (චතුස්සත්යඥාන) බෝධිය හදහයි. අල්පාතඞ්ක වූයේ ස්වල්පාබාධ වෙයි. ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නැති මධ්යම වූ ප්රධන්විර්ය්යට නිසි වූ සමව අහර පැසවන ජඨරාගනියෙන් සමන්වාගත වෙයි. මායා නැතියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥ සබ්රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරණුයේ සළබව් නැතියේ වේ. අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන්ගේ ප්රතිලාභය පිණිස රුකුළු වැර ඇතියේ දළපැරකුම් ඇතියේ කුශලධර්මයන්හි නො හළ වැරධුර ඇතියේ ස්ථාමවත් වූයේ විහරණ කෙරෙයි. ආර්ය්ය වූ නිර්වේදයට වැටෙන මනා සේ දුඃඛක්ෂය කරා යන උදයව්යයට යන ප්රඥායෙන් සමන්වාගත වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම සැදැහැතියෙම් වෙමි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය “මෙ කරුණිනුදු ඒ භාග්යවත්හු අර්හත්හ. සම්යක් සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භාග්යවත්හ”යි හදහමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි අල්පාතඞ්ක ඇතියෙම් අල්පාබාධා ඇතියෙම්, අතිශීත නො වූ අත්යුෂණ නො වූ මධ්යම වූ ප්රධානක්ෂම වූ සම ව අහර පැසවන ජඨරාග්නියෙන් සමන්වාගතයෙමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය (නිර්වාණය) නො පතන්නෙම් ද? මම වනාහි මායා රහිතයෙමි, අශඨයෙම් ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥ සබ්රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරන්නෙම් වෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂයය නො පතම් ද? මම වනාහි අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස, කුශලධර්මයන්ගේ ලාභය පිණිස රුකුළු වැර ඇතියෙම් කුශලධර්මයෙහි නො හළ වැර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත්ව වෙසෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතන්නෙම් ද? මම වනාහි ආර්ය්ය වූ නිර්වේදය ඇසුරු කළ මොනවට දුඃඛක්ෂයට යන උදයව්යයගාමීනිප්රඥායෙන් සමන්වාගත වෙමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය නො පතන්නෙම් ද?
මහණෙනි, මේ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මහණ ආස්රවක්ෂය පතන්නේ ය යි.