5. 3. 4. 4.
[ඛත්තියරාජ සූත්රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි වෙසෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභික්ෂිත ක්ෂත්රිය රජ මවු පසින් හා පියපසින් හා යන උභයපාර්ශවයෙන් මනා කොට උපන්නේ, සුපිරිසිදු මවුකුසැතියේ, සත්මුතු පරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නොලන ලදුයේ උපක්රෝශ නො ලදුයේ වෙයි. මහාධන ඇතියේ මහාභෝග ඇතියේ පිරිපුන් ධනකෝෂ හා ධාන්යකෝෂ්ඨාගාර ඇතියේ ආඪ්ය වෙයි. කීකරු වූ ඔවා අනුව කරණ සිවුරඟසෙනගින් සමන්වාගත වූයේ බලවත් වෙයි.
ඔහුගේ පරිණායක පණ්ඩිත වෙයි. (ප්රඥාව්යක්තතායෙන්) ව්යක්ත වෙයි. (ස්ථානෝචිතප්රඥායෙන් යුක්තවන හෙයින්) මේධාවී වෙයි. අතීතානාගත ප්රත්යුත්පන්න අර්ත්ථයන් සිතීමට ප්රතිබල වෙයි. මෙ සතර දහම්හු ඔහුගේ යශස් පරිපාක කරවත්. මේ යශස නැමැති පස්වන කරුණින් සමන්වාගත හෙතෙමේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි (වෙසෙන සේ) වෙසෙයි. ඒ කවර හේතුයෙන් යත්: විජේතෘනට (ධර්මවිජය ඇත්තනට) තෙල එසෙයින් ම වෙයි.
මහණෙනි, එපරිදි ම කරුණු පසෙකින් සමන්වාගත මහණ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, පඤ්චවිධ විමුක්තියෙන් යුත් ඇතියේ ම වාස කෙරෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවර ශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරිම්පන්න වූයේ අණුමාත්රවරදෙහි දු බිය දක්නා සුලුයේ සිකපදයෙහි සමාදන් කොටගෙන හික්මෙයි. ජාතිසම්පන්න වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය මහරජකු සෙයිනි.
(නවාඞ්ගශාසන සඞ්ඛ්යාත) ශ්රැතයට ආධාර වූයේ රාසි කොටගත් ශ්රැත ඇතියේ බහුශ්රුත වෙයි. යම් ධර්මකෙනෙක් ආදිකල්යාණ මධ්යකල්යාණ පර්ය්යවසානකල්යාණ වූවාහු අර්ත්ථසහිත ව්යඤ්ජන සහිත වූවාහු කේවල පරිපූර්ණ වූ පිරිසිදු බ්රහ්මචර්ය්ය පවසත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් අසා උගන්නා ලද්දාහු ප්රගුණ කරණ ලද්දාහු වචනයෙන් වනපොත් කරණ ලද්දාහු (සූත්ර දශකාදි විසින්) සිතින් පිරික්සා බලන ලද්දහු ප්රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ආඪ්ය වූ මහද්ධන ඇති මහාභෝග ඇති පිරිපුන් ධනාගාර හා ධාන්යාගාර ඇති මුදුනෙහි බිසෙස් ලද කැත්මහරජකු මෙනි.
අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන්ගේ උපසම්පත්තිය පිණිස ස්ථාමවත් වූයේ දළපැරැකුම් ඇතියේ කුශලධර්මයෙහි නොහළ වැර ධූර ඇතියේ ඇරැඹූ වීර්ය්ය ඇතියේ වාස කෙරෙයි. බලසම්පන්න මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජකු මෙනි.
ආර්ය්ය වූ නිර්වේදයට නිසි වූ මැනැවින් දුඃඛක්ෂයට යන සුලු උදාවිය දෙක අනුව ගිය විදර්ශනාප්රඥායෙන් සමන්වාගත මූර්ධාභිෂික්ත ක්ෂත්රිය මහරජු සෙයිනි.
ඔහුගේ මේ සතර දහම්හු විමුක්තිපරිපාකය කරවත්. හේ මේ විමුක්තිය පස්වනු කොට ඇති ධර්මයෙන් සමන්වාගත වූයේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, විමුක්තචිත්ත ව වෙසෙයි. එ කවර හෙයින් යත්: මහණෙනි, විමුක්තචිත්තයනට (මිදුනු සිත් ඇතියනට) තෙල එසෙයින් ම වෙයි.
5. 3. 4. 5.
[පළමුවන පත්ථනා සූත්රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුගේ දෙටුපුත් රාජ්යය පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රියරජුගේ ජ්යේෂ්ඨපුත්ර තෙමේ මවුපසින් හා පියපසින් හා යන දෙපසින් සුජාත වූයේ, පිරිසිදු මවුකුස් ඇතියේ, සත්මුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්රෝෂ නැතියේ වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූයේ ප්රසාද එළවන සුලුයේ අභිරූප වෙයි. මාපියනට ප්රිය මනාප වෙයි. නියම් ගම්දනවු වැස්සනට ප්රිය මනාප වෙයි. හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථ ශිල්ප වේවයි, ධනුශිල්ප වේවයි, ඛඞ්ගශිල්ප වේවයි, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුන්ගේ යම් ශිල්පස්ථානයෝ වෙත් නම්, එහි හික්මුනේ පරිපූර්ණ වෙයි.