5. 3. 4. 3.
[ධම්මරාජ සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, “දැහැමි වූ ධර්මරාජන් වූ යම් චක්රවර්ති රජෙක් වේ නම්, හෙ ද අරාජක ආඥාචක්රය නො පවත්වා ය” යි. මෙ සෙයින් වදාළ කල්හි අන්යතර මහණෙක් භාග්යවත්හට තෙල කරුණ සැළ කළේ ය: “වහන්ස, ධාර්මික වූ ධර්මරාජන් වූ චක්රවර්තී රජහට කවරෙක් රජ වේ දැ?” යි, “මහණ, ධර්මය”යි භාග්යවතුන් වහන්සේ වදාළහ.
මහණ, මෙ ලොව්හි දැහැමි වූ ධර්මරාජන් වූ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්යය කොට ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි දැහැමි රැකවරණ ගෝපන සංවිධාන කරයි.
තවද මහණ, ධාර්මික ධර්මරාජන් වූ සක්විතිරජ දහම ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්යය කොට ඇතියේ අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහිදු, බලකාය කෙරෙහිදු, බමුණු ගැහැවියන් කෙරෙහිදු, නියම්ගම් දනවුවැස්සන් කෙරෙහිදු, ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහිදු, මෘගපක්ෂීන් කෙරෙහිදු ධාර්මික රක්ෂාවරණගෝපන කරයි.
මහණ, ධාර්මික වූ ධර්මරාජන් වූ එ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මධ්වජ වූයේ ධර්මකේතු වූයේ ධර්මාධිපත්යය ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි ධාර්මිකරක්ෂාවරණගෝපනය කොට අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහි ද බලකාය කෙරෙහි ද බ්රාහ්මණගෘහපතියන් කෙරෙහි ද නියම්ගම්දනවුවැසියන් කෙරෙහි ද ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහි ද මෘගපක්ෂීන් කෙරෙහි ද ධාර්මික රක්ෂාවරණගුප්තිය කොට ධර්මයෙන් ම ආඥාචක්රය පවත්වයි. එ ආඥාචක්රය වනාහි මනුෂ්යභූත කිසිදු පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තනය කළ හැකි නො වෙයි.
මහණ, එ පරිද්දෙන් ම ධාර්මික ධර්මරාජන් වූ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇත්තාහු ධර්මය කේතු කොට ඇත්තාහු ධර්මය ආධිපත්යය කොට ඇත්තාහු භික්ෂූන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සලසන්නාහ. “මෙබඳු කායකර්මය සෙවිය යුතු ය, මෙබඳු කායකර්මය නො සෙවිය යුතුය, මෙබඳු වාක්කර්මය සෙවිය යුතු ය, මෙබඳු වාක්කර්මය නො සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්මය සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්මය නො සෙවිය යුතු ය, මෙබඳු ආජීවය සෙවිය යුතු ය, මෙබඳු ආජීවය නො සෙවිය යුතු ය, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය” යි.
තවද මහණ, ධාර්මික ධර්මරාජන් වූ අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇත්තාහු ධර්මය කේතු කොට ඇත්තාහු ධර්මය ආධිපත්ය කොට ඇත්තාහු භික්ෂුණින් කෙරෙහි … උපාසකයන් කෙරෙහි ... උපාසිකාවන් කෙරෙහි “මෙබඳු කායකර්මය සෙවිය යුතු, මෙබඳු කායකර්මය නො සෙවිය යුතු, මෙබඳු වාක්කර්මය සෙවිය යුතු, මෙබඳු වාක්කර්මය නො සෙවිය යුතු, මෙබඳු මනඃකර්මය සෙවිය යුතු, මෙබඳු මනඃකර්මය නො සෙවිය යුතු, මෙබඳු ආජීවය සෙවිය යුතු, මෙබඳු ආජීවය නො සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය”යි ධාර්මික රක්ෂාවරණගුප්තිය සලසන්නාහ.
මහණ, එ ධාර්මික ධර්මරාජන් වූ අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇතියාහු ධර්මය කේතු කොට ඇතියාහු ධර්මය ආධිපත්ය කොට ඇතියාහු භික්ෂූන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගෝපනය සලසා, භික්ෂුණීන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගෝපනය සලසා, උපාසකයන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගෝපනය සලසා, උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගෝපනය සලසා, ධර්මයෙන් ම අනුත්තරධර්මචක්රය පවත්වන සේක. එ ධර්මචක්රය ලොව්හි ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්රහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ ප්රතිවර්තනය කළ හැකි නොවේ ය යි.
5. 3. 4. 4.
[ඛත්තියරාජ සූත්රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි වෙසෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභික්ෂිත ක්ෂත්රිය රජ මවු පසින් හා පියපසින් හා යන උභයපාර්ශවයෙන් මනා කොට උපන්නේ, සුපිරිසිදු මවුකුසැතියේ, සත්මුතු පරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නොලන ලදුයේ උපක්රෝශ නො ලදුයේ වෙයි. මහාධන ඇතියේ මහාභෝග ඇතියේ පිරිපුන් ධනකෝෂ හා ධාන්යකෝෂ්ඨාගාර ඇතියේ ආඪ්ය වෙයි. කීකරු වූ ඔවා අනුව කරණ සිවුරඟසෙනගින් සමන්වාගත වූයේ බලවත් වෙයි.