5. 3. 4. 2.
[දෙවැනි චක්කානුවත්තන සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ සක්විති රජුගේ දෙටු පුත් පියහු විසින් පවත්වන ලද ආඥාචක්රය දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් මනුෂ්ය වූ කිසිදු පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තන කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්යේෂ්ඨ පුත්ර අර්ත්ථඥ ද වෙයි, ධර්මඥ ද වෙයි, මාත්රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්ෂද් දන්නේ ද වේ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත සක්විති රජුගේ දෙටුපුත් පියහු විසින් පැවැත්වූ අණසක් දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් වනාහි මනුෂ්ය වූ කිසිදු පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තන කළ හැකි නො වෙයි. (ප්රතික්ෂේප හෝ කළ නො හෙයි.)
මහණෙනි, එසෙයින් ම කරුණු පසෙකින් සමන්වාගත ශාරීපුත්ර තෙරණුවෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්මචක්රය මැනැවින් පවත්වන්නාහ. එ ධර්මචක්රය ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්රහ්මයකු හෝ ලොවැ වෙන කිසිවකු විසින් හෝ නො පැවැත්විය හෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්රයෝ අර්ත්ථඥයහ, ධර්මඥයහ, මාත්රඥයහ, කාලඥයහ, පර්ෂද් දන්නාහ.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත ශාරිපුත්රයෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්මචක්රය මනාකොට අනුව පවත්වත්. එ ධර්මචක්රය ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්රහ්මයකු විසින් හෝ ලොවැ කිසිවකු විසින් හෝ ප්රතිවර්තන කළ හැකි නො වෙයි. (ප්රතික්ෂේප ද කළ නො හෙයි.)
5. 3. 4. 3.
[ධම්මරාජ සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, “දැහැමි වූ ධර්මරාජන් වූ යම් චක්රවර්ති රජෙක් වේ නම්, හෙ ද අරාජක ආඥාචක්රය නො පවත්වා ය” යි. මෙ සෙයින් වදාළ කල්හි අන්යතර මහණෙක් භාග්යවත්හට තෙල කරුණ සැළ කළේ ය: “වහන්ස, ධාර්මික වූ ධර්මරාජන් වූ චක්රවර්තී රජහට කවරෙක් රජ වේ දැ?” යි, “මහණ, ධර්මය”යි භාග්යවතුන් වහන්සේ වදාළහ.
මහණ, මෙ ලොව්හි දැහැමි වූ ධර්මරාජන් වූ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්යය කොට ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි දැහැමි රැකවරණ ගෝපන සංවිධාන කරයි.
තවද මහණ, ධාර්මික ධර්මරාජන් වූ සක්විතිරජ දහම ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්යය කොට ඇතියේ අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහිදු, බලකාය කෙරෙහිදු, බමුණු ගැහැවියන් කෙරෙහිදු, නියම්ගම් දනවුවැස්සන් කෙරෙහිදු, ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහිදු, මෘගපක්ෂීන් කෙරෙහිදු ධාර්මික රක්ෂාවරණගෝපන කරයි.
මහණ, ධාර්මික වූ ධර්මරාජන් වූ එ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මධ්වජ වූයේ ධර්මකේතු වූයේ ධර්මාධිපත්යය ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි ධාර්මිකරක්ෂාවරණගෝපනය කොට අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහි ද බලකාය කෙරෙහි ද බ්රාහ්මණගෘහපතියන් කෙරෙහි ද නියම්ගම්දනවුවැසියන් කෙරෙහි ද ශ්රමණබ්රාහ්මණයන් කෙරෙහි ද මෘගපක්ෂීන් කෙරෙහි ද ධාර්මික රක්ෂාවරණගුප්තිය කොට ධර්මයෙන් ම ආඥාචක්රය පවත්වයි. එ ආඥාචක්රය වනාහි මනුෂ්යභූත කිසිදු පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තනය කළ හැකි නො වෙයි.