5. 3. 1. 8.
අසේඛ සූත්රය
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනාර්හ වෙයි, ප්රාඝුණාර්හ වෙයි, දක්ෂිණාර්හ වෙයි, අඤ්ජලිකරණාර්හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි, අශෛක්ෂසමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි, අශෛක්ෂප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි, අශෛක්ෂවිමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි, අශෛක්ෂවිමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණ ආහුනාර්හ වෙයි, ප්රාඝුණාර්හ වෙයි, දක්ෂිණාර්හ වෙයි, අඤ්ජලිකරණාර්හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ ය යි.
5. 3. 1. 9.
[චාතුද්දිස සූත්රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ආචාරගෝචර සම්පන්න වූයේ ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘත වූයේ වාස කරයි, අණුමාත්ර වරදෙහි භය දක්නාසුලුයේ ශික්ෂාපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි.
ශ්රැතධර වූයේ ශ්රැතසන්නිචය ඇතියේ බහුශ්රුත වෙයි, ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසානකල්යාණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්යය ප්රකාශ කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බහුශ්රැතවූවාහු ධරණ ලද්දාහු වෙත්, වචනයෙන් පිරිවහන ලදහු වෙත්, මනසින් අනුප්රේක්ෂිත වෙත්, ප්රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද වෙත්.
ඉතරෙතර (යථාලාභ වූ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්යානයන් කැමැති සෙයින් ලබනසුලුයේ නිදුකින් ලබනසුලුයේ විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආස්රවක්ෂය වීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති හා ප්රඥාවිමුක්ති හා තෙමේ ඉහාත්මයෙහි මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාස කෙරෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වේ ය යි.
5. 3. 1. 10.
[අරඤ්ඤ සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ වන සෙනසුන් හා වෙනෙහි දුර සෙනසුන් හා ගැඹුරු වල්සෙනසුන් හා සෙවුනට නිසි වූයේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සමාදන් කොට ගෙන සිකපදයෙහි හික්මෙයි.