5. 3. 1. 9.
[චාතුද්දිස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ආචාරගෝචර සම්පන්න වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘත වූයේ වාස කරයි, අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලුයේ ශික්‍ෂාපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රැතවූවාහු ධරණ ලද්දාහු වෙත්, වචනයෙන් පිරිවහන ලදහු වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද වෙත්.
ඉතරෙතර (යථාලාභ වූ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සෙයින් ලබනසුලුයේ නිදුකින් ලබනසුලුයේ විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තෙමේ ඉහාත්මයෙහි මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාස කෙරෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වේ ය යි.
5. 3. 1. 10.
[අරඤ්ඤ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ වන සෙනසුන් හා වෙනෙහි දුර සෙනසුන් හා ගැඹුරු වල්සෙනසුන් හා සෙවුනට නිසි වූයේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සමාදන් කොට ගෙන සිකපදයෙහි හික්මෙයි.
බහුශ්‍රුත වෙයි ... බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ එබඳු ධර්‍මයෝ … නුවණින් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්.
අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹුවැර ඇතියේ වාස කරයි. වීර්‍ය්‍යස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො බහා ලූ ධූර ඇතියේ වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැතිසෙයින් ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල කොට ලබනසුලු වූයේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ අරණ්‍යයෙහි වානප්‍රස්ථයෙහි වනපර්‍ය්‍යන්තයෙහි ශයනාසනයන් සෙවුනට නිසි වේ ය යි.
ඵාසුවිහාර වර්‍ගය පළමු වැනි යි.
එහි උද්දානය:
වේසාරජ්ජ සූත්‍රය, සඞ්කිත සූත්‍රය, මහාචෝර සූත්‍රය, සමණ සුඛුමාල සූත්‍රය, පස්වැනි ඵාසුවිහාර සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, අසේඛ සූත්‍රය, චාතුද්දිස සූත්‍රය, අරඤ්ඤ සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.