5. 3. 1. 6.
[ආනන්‍ද සූත්‍රය]
6. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැළ කළහ:
වහන්ස, කෙතෙක් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි වසන මහණ සුවසේ වසන්නේ දැ යි.
ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ, මෙරමා අධිශීලයෙහි ලා උපවාද නොකරණුයේ වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඞ්ඝයා කෙරෙහි සුවසේ වාස කරන්නේ ය යි.
වහන්ස, මහණ යම් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි සුවසේ වෙසේ නම් එබඳු අන් කරුණෙක් වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ද ගරහනුයේත් වේ, තමාගේ කිස දක්නා සුලු වූයේත් වෙයි, මෙරමාගේ කෘතාකෘත නො විමසනුයේත් වෙයි, ආනන්‍දයෙනි, මහණ මෙ කරුණෙනුදු සඟුන් කෙරෙහි සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ අන්‍යයා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වෙයි, තමාගේ කළ නොකළ දෑ දක්නා සුල්ලේත් වෙයි, මෙරමා නො විමසනුයේත් වෙයි, අප්‍රකට වූයේත් වෙයි, ඒ අප්‍රකට භාවයෙන් නො තැවෙනුයේත් වෙයි. ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කෙරේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රෙක්‍ෂි නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවෙන්නේ ද, අධිචිත්තයෙහි උපදනා ඉහාත්මභාවයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුවූයේත් වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් සඟුන් කෙරෙහි වසන මහණ සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු ඇත් ද?
ආනන්‍දයෙනි, ඇත. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහනුයේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රේක්‍ෂී නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවේ ද, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල සේ ලබනසුලුයේත් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
ආනන්‍දයෙනි, මේ (ආස්‍රවක්‍ෂය) ඵාසුවිහාරයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ අනෙක් ඵාසුවිහාරයෙක් නැතැයි කියමි යි.
5. 3. 1. 7.
[සීලසම්පන්න සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සීලසම්පන්න වෙයි, සමාධිසම්පන්න වෙයි, ප්‍රඥාසම්පන්න වෙයි, විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
5. 3. 1. 8.
අසේඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.