5. 3. 1. 5.
[ඵාසුවිහාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ මෛත්‍රීචිත්තයෙන් යුත් කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ නිදහස් වූ විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණදෘෂ්ටියෙන් අපරාමෘෂ්ට වූ සමාධියට හිතවත් ව වැටෙන යම් ශීල කෙනෙක් වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් සමඟ සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් ශීලයෙන් සමභාවයට ගියේ වාස කරයි. ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය කරණවහුගේ දුක් මැනැවින් ගෙවීමට පමුණුවා නම්, සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා දෘෂ්ටිසමභාවයට ගියේ වාස කරයි.
මහණෙනි, මේ ඵාසු විහාර පස යි.
5. 3. 1. 6.
[ආනන්‍ද සූත්‍රය]
6. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැළ කළහ:
වහන්ස, කෙතෙක් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි වසන මහණ සුවසේ වසන්නේ දැ යි.
ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ, මෙරමා අධිශීලයෙහි ලා උපවාද නොකරණුයේ වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඞ්ඝයා කෙරෙහි සුවසේ වාස කරන්නේ ය යි.
වහන්ස, මහණ යම් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි සුවසේ වෙසේ නම් එබඳු අන් කරුණෙක් වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ද ගරහනුයේත් වේ, තමාගේ කිස දක්නා සුලු වූයේත් වෙයි, මෙරමාගේ කෘතාකෘත නො විමසනුයේත් වෙයි, ආනන්‍දයෙනි, මහණ මෙ කරුණෙනුදු සඟුන් කෙරෙහි සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ අන්‍යයා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වෙයි, තමාගේ කළ නොකළ දෑ දක්නා සුල්ලේත් වෙයි, මෙරමා නො විමසනුයේත් වෙයි, අප්‍රකට වූයේත් වෙයි, ඒ අප්‍රකට භාවයෙන් නො තැවෙනුයේත් වෙයි. ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කෙරේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රෙක්‍ෂි නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවෙන්නේ ද, අධිචිත්තයෙහි උපදනා ඉහාත්මභාවයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුවූයේත් වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.