5. 3. 1. 4.
[සමණසුඛුමාල සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ශ්රමණ තෙමේ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාර (සැප බහුල) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් (පිළිගත මැනැවයි) ආරාධිත වූයේ ම බොහෝ කොට චීවර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට පිණ්ඩපාත වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට සෙනසුන් වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය.
යම් සබ්රම්සරුන් සමඟ එක්ව වාස කෙරේ ද, ඔහට ඒ සබ්රම්සරහු බහුල කොට මනාප වූ ම කායකර්මයෙන් පවත්නාහ. අමනාප කායකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම වාක්කර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම මනඃකර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප මනඃකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම පඬුරු එළවත්. අමනාප පඬුරු අල්ප ය.
යම් ඒ වේදනායෙක් පිත්තසමුත්ථාන වේවයි, ශ්ලෙෂ්මසමුත්ථාන වේවයි, වාතසමුත්ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්රමික වේවයි, කර්මවිපාකජ වේවයි, ඒ වේදනා බෙහෙවින් ම ඔහට නූපදී. අල්පාබාධ වෙයි.
අධිචිත්තයෙහි උපදනා ඉහාත්මසුඛවිහරණ වන සතර ධ්යානයන් කැමැතිසේ ලබන සුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආස්රවයන්ගේ ක්ෂය වීමෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට සපයා වාස කරයි.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්වාගත මහණ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාර වෙයි.
මහණෙනි, යම් පුඟුලකු ගෙණ මැනැවින් කියනුයෙක්, ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාරයෙකැ’යි කියා නම්, මහණෙනි, මැනැවින් කියන හේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාරය’යි ඒ මා මැ සඳහා කියන්නේ යි.
මහණෙනි, මම ආරාධිත වූයෙම් මැ බොහෝ කොට සිවුරු වළඳ කරමි. අනාරාධිත වූයෙම් අල්ප ය. ආරාධිත වූයෙම් මැ බොහෝ කොට පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙමි. අනාරාධිත වූයෙම් අල්ප කොට වළඳ කෙරෙමි.
යම් මැ භික්ෂු කෙනකුන් සමඟ වාස කෙරෙම් නම්, ඔහු මට මනාප වූ ම කායකර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාපකායකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ වාක්කර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ මනඃකර්මයෙන් බහුල කොට පවත්නාහ, අමනාපමනඃකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්ප යි.
යම් වේදනායෙක් - පිත්තසමුත්ථාන වේවයි, සෙම්හසමුත්ථාන වේවයි, වාතසමුත්ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්රමික වේවයි, කර්මවිපාකජ වේවයි, ඒ වේදනා මට බෙහෙවින් නූපදී. මම අල්පාබාධයෙමි.
අධිචිත්තයෙහි (රූපාවචර සිත්හි) උපදනා වූ ඉහාත්මයෙහි සුඛවිහරණ වන සතරධ්යානයන් කැමැති සෙයින් ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල සේ ලබන සුලුයෙම් වෙමි.
ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට සපයා වාස කරමි.
මහණෙනි, යම් පුඟුලකු ගෙන ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාර’යි මොනොවට කියනුයෙක් පවසන්නේ නම්, මහණෙනි, ඒ මා සඳහා ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සුකුමාර’යි මැනැවින් කියන හේ පවසන්නේ ය යි.
5. 3. 1. 5.
[ඵාසුවිහාර සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ මෛත්රීචිත්තයෙන් යුත් කායකර්මය සබ්රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. මෛත්රියෙන් යුත් වාක්කර්මය ... මෛත්රියෙන් යුත් මනඃකර්මය සබ්රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ නිදහස් වූ විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණදෘෂ්ටියෙන් අපරාමෘෂ්ට වූ සමාධියට හිතවත් ව වැටෙන යම් ශීල කෙනෙක් වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්රම්සරුන් සමඟ සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් ශීලයෙන් සමභාවයට ගියේ වාස කරයි. ආර්ය වූ නෛර්ය්යාණික වූ යම් දෘෂ්ටියෙක් එය කරණවහුගේ දුක් මැනැවින් ගෙවීමට පමුණුවා නම්, සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එබඳු දෘෂ්ටියෙන් සබ්රම්සරුන් හා දෘෂ්ටිසමභාවයට ගියේ වාස කරයි.
මහණෙනි, මේ ඵාසු විහාර පස යි.