5. 3. 1. 3.
[මහා චෝර සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහසොර ගෘහසන්ධි දූ බිඳියි. වොලොගැනුමුදු කෙරෙයි. ගෙපැහැරුම් (එක් ගෙයක් වටලා පැහැර ගැණීම් ද) කෙරෙයි. කඩපලාසොරකම් (පල්හොරකම්) ද කෙරෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමනිඃශ්රිත ද වෙයි, ගහනනිඃශ්රිත ද වෙයි, බලවන්නිඃශ්රිත ද වෙයි, භෝගචාගී ද වෙයි, ඒකචාරී ද වේ.
මහණෙනි, මහසොර කෙසේ නම් විෂමනිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර නදීවිදුර්ගයෙක් වේවයි, පර්වතවිෂමයෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහසොර විෂමනිඃශ්රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ගහනනිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර තෘණගහනයෙක් වේවයි, වෘක්ෂගහනයෙක් වේවයි, ඝනවන ලැහැබෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහනනිඃශ්රිත වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවන්නිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජහු හෝ, රජමහමැතියකු හෝ, ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ රජහු හෝ රජමහමැතියෝ හෝ මාගේ දෝෂය ඹබා පියා අරුත් බණන්නාහ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, රජහු හෝ රජමහමැතිහු හෝ ඔහුගේ අපරාධය ඔබාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසෙයින් මහසොර බලවන්නිඃශ්රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර භෝගචාගී වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර මහාධන ඇති මහා භොග ඇති ආඪ්යයෙක් වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් (දොසක්) කියා නම්, මේ භෝගයෙන් පිළිසතර කරන්නෙමියි (‘භෝගදානයෙන් දොස් වසාගන්නෙමි’ යි). ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කී නම්, හේ භෝගයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙ සෙයින් මහසොර භෝගචාගී වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර එකලා වූයේ මැ මෙරමා සතු දැය පැහැර ගැණීම් කරන්නේ වෙයි. එ කවර හෙයින යත්: මාගේ ගුහ්යමන්ත්රයෝ (සැඟවිය යුතු රහස්) නහමක් බැහැර නො යෙත් වා යි. මහණෙනි, මෙසේ මහසොර ඒකචාරී වෙයි.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්වාගත මහසොර ගෘහසන්ධිදු සිඳුනේ ය. වොලො ගන්නේ ය. ගෙපැහැරීම් ද කරන්නේ ය. කඩපලා සොරකම් ද කෙරෙයි.
මහණෙනි, එ පරිදි ම කරුණු පසෙකින් සමන්වාගත පාපභික්ෂු තෙමේ සාළ ගුණ ඇති, නටගුණ ඇති ආත්මය (තමා) පරිහරණ කෙරෙයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි පාපභික්ෂු විෂමනිඃශ්රිත ද වෙයි, ගහනනිඃශ්රිත ද වෙයි, බලවන්නිඃශ්රිත ද වෙයි, භෝගචාගී ද වේ. ඒකචාරී ද වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ විෂමනිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂමකායකර්මයෙන් සමන්වාගත වෙයි, විෂමවාක්කර්මයෙන් සමන්වාගත වෙයි, විෂමමනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමනිඃශ්රිත වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහනනිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ අන්තග්රාහික (ශාශ්වත හෝ උච්ඡේද හෝ) දෘෂ්ටියෙන් සමන්වාගත වූයේ මිථ්යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ ගහනනිඃශ්රිත වේ.
මහණෙනි, කෙසේ නම් පාපභික්ෂු බලවන්නිඃශ්රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ රජකු හෝ රජමහමැතියකු හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් කියා නම්, මෙ රජහු හෝ රජමහමැතිහු හෝ මාගේ දොස් ඔබාපියා අරුත් බණන්නාහ යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම් එ රජහු හෝ රජමහමැතියෝ හෝ ඔහුගේ දොස් වසාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසේ පාපභික්ෂු බලවන්නිඃශ්රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ භෝගචාගී (භොග දෙන්නේ) වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුලු වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මාහට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ ලාභයෙන් පිළිසතර (සඞ්ග්රහ) කරන්නෙමී යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම්, එ ලාභයෙන් පිළිසතර කරයි. මහණෙනි, මෙසේ පාපභික්ෂු තෙමේ භෝගචාගී වෙයි.
මහණෙනි, කෙසේ නම් පාපභික්ෂු ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පාපභික්ෂු තෙමේ එකලා වූයේ පසල්දනව්හි වාස කරයි. හෙ එහි කුලයන් කරා එළඹෙනුයේ ලාභ ලබයි. මහණෙනි, මෙසේ පාපභික්ෂු ඒකචාරී වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත පාපභික්ෂු සාරාලු ගුණ ඇති, නටගුණ ඇති, ආත්මය පරිහරණ කරයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද (නින්දා) කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරේ ය යි.