5. 2. 4. 7.
[සීල සූත්රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, ධර්මපසෙකින් සමන්වාගත ස්ථවිර මහණ සබ්රහ්මචාරීන්ට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින යත්:
සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්රවරදෙහි භය දක්නාසුලු වූයේ වාස කරයි. සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. බහුශ්රුත වූයේ ශ්රැතධර වූයේ සන්නිවිත ශ්රැත ඇතියේ වෙයි. යම් ඒ ධර්මකෙනෙක් ආදිකල්යාණ වූවාහු මධ්යකල්යාණ වූවාහු පර්ය්යවසානකල්යාණ වූවාහු සාර්ත්ථ වූවාහු සව්යඤ්ජන වූවාහු කේවලපරිපූර්ණ පරිශුද්ධ බ්රහ්මචර්ය්යය ප්රකට කොට පවසත් නම්, එ බඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, ධරණ ලද්දාහු, වචනයෙන් පරිචිත වූවාහු, මනසින් අනුප්රේක්ෂිත වූවාහු, ප්රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. කලණවදන් ඇතියේ කල්යාණවාක්කරණ ඇතියේ පිරිපුන් වූ අපළිබුද්ධ වූ නිදොස් වූ අර්ත්ථය හඳුන්වන වචනයෙන් සමන්වාගත වූයේ වෙයි. අධිචිත්තයෙහි උපදනා දිටුදැමියෙහි සුඛවිහරණ වූ සතරධ්යානයන් රිසි සේ ලබනුයේ සුවසේ ලබනුයේ විපුල කොට ලබනුයේත් වෙයි. ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්ති හා ප්රඥා විමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මේ ධර්මපසින් සමන්වාගත ස්ථවිර මහණ සබ්රම්සරනට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි.
5. 2. 4. 8.
[ථේර සූත්රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙව් මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසෙකින යත්:
චිරරාත්රඥ, පැවිදි බොහෝ කල් ඇති, (වටාලා හුනුබවට නොවැටෙනුයෙන් සස්නෙහි) ස්ථිරභාවයට පැමිණියේ වෙයි. ගිහි-පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බහුජනපරිවාර ඇතියේ ද වෙයි. සිවුරුපිඬුවාසෙනසුන් බෙහෙසත් පිරිකර ලබන සුල්ලේ ද වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතියේ ශ්රැතධර වූයේ, සන්නචිත ශ්රැත ඇතියේ, යම් ඒ ධර්මකෙනෙක් ආදිකල්යාණ, මධ්යකල්යාණ, පර්ය්යවසානකල්යාණ වූවාහු, සාර්ත්ථ වූවාහු, සව්යඤ්ජන වූවාහු කේවල පරිපූර්ණ වූ පිරිසිදු බඹසර ප්රකට කොට කියත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු, දරණ ලද්දාහු වචනයෙන් ප්රගුණ කරණ ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, ප්රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. විපරීත දර්ශන ඇතියේ මිථ්යාදෘෂ්ටික වෙයි. හේ බොහෝ දෙන සදහමින් නංවා අසද්ධර්මයෙහි පිහිටුවයි. ‘මහණ චිරරාත්රඥ චිරප්රව්රජිත ස්ථිර පැවිදි නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘මහණ ගිහිපැවිද්දන් විසින් අභිඥාත යශස්වී වූ බොහෝ දෙන පිරිවර කොට ඇති ස්ථවිර නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්. ‘තෙර මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘බහුශ්රුත වූ ශ්රැතධර වූ ශ්රැතසන්නිචය ඇති ස්ථවිර මහණෙකැ’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙවි මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත ස්ථවිර භික්ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්ත්ථ පිණිස දෙවි මිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි. කවර ධර්මපසෙකින යත්:
චිරරාත්රඥ, චිරප්රව්රජිත ස්ථිර මහණෙක් වෙයි. ගිහි පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බොහෝ පිරිවර ඇත්තේ වෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ද වෙයි. බහුශ්රුත වූයේ ශ්රැතධරවූයේ ශ්රැතසන්නිචය ඇතියේ ද වෙයි. යම් ඒ ධර්ම කෙනෙක් ආදිකල්යාණ, මධ්යකල්යාණ, පර්ය්යවසානකල්යාණ වූවාහු සාර්ත්ථ වූවාහු සව්යඤ්ජන වූවාහු කේවලපරිපූර්ණ පරිශුද්ධ බ්රහ්මචර්ය්යය ප්රකට කොට කියත් නම්, එ බඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්රගුණ කරණ ලද්දාහු ප්රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. අවිපරීතදර්ශන ඇතියේ සම්යග්දෘෂ්ටික වෙයි.
හේ බොහෝදෙන අසද්ධර්මයෙන් නංවා සද්ධර්මයෙහි පිහිටුවයි. චිරරාත්රඥ, චිර ප්රව්රජිත ස්ථිර මහණැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට ද පැමිණෙත්. ‘ස්ථවිර මහණ ගිහි පැවිද්දන් විසින් ඥාත ය, යශස්වී ය, බහුජනපරිවාර ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘ස්ථවිර මහණ ... ලාභී ය, ‘ස්ථවිර මහණ බහුශ්රුත ය ශ්රැතධර ය ශ්රැතසන්නිචය ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස දේවමනුෂ්යයනට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි.
5. 2. 4. 9.
[පඨමසේඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ ධර්මයෝ පස්දෙනෙක් ශෛක්ෂ (සකරණීය) මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ: කවර පස් දෙනෙක යත්:
නවකර්මයෙහි ඇලුම්ඇති බව ය, (ස්ත්රීපුරුෂවර්ණනාදි විසින් වැටෙන ආලාපසංලාපසඞ්ඛ්යාත) භාෂණයෙහි ඇලුම් ඇති බව ය, නිදීමෙහි ඇලුම් ඇති බව ය, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති බව ය, යථාවිමුක්තිචිත්තය (පැහු දොස්, ලැබූ ගුණ මේ යයි සලකා මතු ගුණ ලාභය පිණිස සිත මිදුනු පරිදි) ප්රත්යවේක්ෂා නො කෙරෙයි. (යනු යි.) මහණෙනි, මේ පඤ්ච ධර්මයෝ ශෛක්ෂ මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ.
මහණෙනි, මේ ධර්මයෝ පස් දෙනෙක් ශෛක්ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
කම්මාරාමතා නො වෙයි, භස්සාරාමතා නො වෙයි, නිද්දාරාමතා නො වෙයි, සඞ්ගණිකාරාමතා නො වෙයි, යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා කෙරෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෝ ශෛක්ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ.