4. ථේර වර්‍ගය
5. 2. 4. 1.
[රජනීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත තෙරමහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රාගයට කරුණු වූ අරමුණෙහි රක්ත වෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්විෂ්ට වෙයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මූඪ වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි කුපිත වෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත්ත වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රාගයට කරුණු වූ අරමුණෙහි නො ඇලෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්වේෂ නො කරයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මුළා නො වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි නො කිපෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත් නො වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුන්හට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 2.
[වීතරාග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
අවීතරාග වෙයි. අවීතදෝස වෙයි. අවීතමෝහ වෙයි. ගුණමකු ද වෙයි. (-යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
වීතරාග වෙයි. වීතදෝස වෙයි. වීතමෝහ වෙයි. ගුණමකු නො වූයේ ද වෙයි. පළාස නැතියේ ද වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 3.
[කුහක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
(ත්‍රිවිධකුහනවස්තුයෙන් යුත්) කුහකයෙක් ද වෙයි. (ලාභනිඃශ්‍රිතසමුල්ලපනායෙන්) ලපක (උසස් කොට බිණුම් ඈ විසින් බණනුයේ) ද වෙයි. (ප්‍රත්‍යය සඳහා කරණ කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත) නිමිති ඇතියේ ද වෙයි. (ලාභසත්කාර සඳහා කරණ) නිෂ්පෙෂණකථා (නොහමියෙ හි පරා ගුණ සුණු කරණ කථා) ඇතියේ ද වෙයි. ලාභයෙන් ලාභය සොයනුයේ ද වෙයි. මේ ධර්‍ම පසින් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
නො ද කුහක වෙයි. නො ද ලපක වෙයි. නො ද නෙමිත්තික වෙයි. නො ද නිප්පෙසික වෙයි. ලාභයෙන් ලාභ සොයනුයේ නො ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වේ ය යි.
5. 2. 4. 4.
[අස්සද්ධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැ නැතියේ වෙයි. ලජ්ජා නැතියේ වෙයි. අපත්‍රපා නැතියේ වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැතියේ වෙයි. ලජ්ජා ඇතියේ වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි. මහණෙනි, මේ පස් දහමින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.