5. 2. 4. 3.
[කුහක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
(ත්‍රිවිධකුහනවස්තුයෙන් යුත්) කුහකයෙක් ද වෙයි. (ලාභනිඃශ්‍රිතසමුල්ලපනායෙන්) ලපක (උසස් කොට බිණුම් ඈ විසින් බණනුයේ) ද වෙයි. (ප්‍රත්‍යය සඳහා කරණ කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත) නිමිති ඇතියේ ද වෙයි. (ලාභසත්කාර සඳහා කරණ) නිෂ්පෙෂණකථා (නොහමියෙ හි පරා ගුණ සුණු කරණ කථා) ඇතියේ ද වෙයි. ලාභයෙන් ලාභය සොයනුයේ ද වෙයි. මේ ධර්‍ම පසින් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
නො ද කුහක වෙයි. නො ද ලපක වෙයි. නො ද නෙමිත්තික වෙයි. නො ද නිප්පෙසික වෙයි. ලාභයෙන් ලාභ සොයනුයේ නො ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වේ ය යි.
5. 2. 4. 4.
[අස්සද්ධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැ නැතියේ වෙයි. ලජ්ජා නැතියේ වෙයි. අපත්‍රපා නැතියේ වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැතියේ වෙයි. ලජ්ජා ඇතියේ වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි. මහණෙනි, මේ පස් දහමින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 5.
[අක්ඛම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රූපාරම්මණයන් නො ඉවසනුයේ (එයින් අභිභූත) වෙයි. ශබ්දාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. රසාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රූපාරම්මණ ඉවසනුයේ (එයින් නො මැඩුනේ) වෙයි. ශබ්දාරම්මණ ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණ ඉවසනුයේ වෙයි. රසාරම්මණ ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණ ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 6.
[පටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
අර්‍ත්‍ථප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් ඒ ඉතිකර්‍තව්‍යයෝ (කුම් කෙරෙම් දැයි පිළිවිස කළයුතු කටයුතු) වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස වූයේ ඒ ඒ කරුණෙහි උපායභූත වීමංසාප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ (එය තමන්) කිරීමට සමර්‍ත්‍ථ වූයේ ද සංවිධානයට (අනුන් ලවා කරවීමට) සමර්‍ත්‍ථ වූයේ ද වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.