5. 2. 4. 10.
[දුතියසේඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂමහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කරණී ඇති, බොහෝ කිස ඇතියෙක් වෙයි. ඉතිකර්‍තව්‍යයෙහි ඡේක වෙයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පළමු දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
වැලිදු මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රක කර්‍මයෙකින් දවස ගළවයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ දෙවන දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ගිහිපැවිද්දන් සමඟ අනුලෝම නො වන ගිහිසසඟින් සසට ව වෙසෙයි. පිළිසලන හැරපියයි. අධ්‍යාත්ම චිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ඉතා අලුයම ගම් වදනේ ය. මධ්‍යාහ්නය පන්වා පෙරළා එයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ කෙලෙස් ලියා හරණ ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත චිත්තවිවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධි කථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථාව කැමැති සේ නො ලබන සුලුයේ කිච්ඡලාභී, කසිරලාභී වෙයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස පවත්නේ ය. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස වැටෙත්.
මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කිස ඇතියේ, බොහෝ කරණී ඇතියේ නො වෙයි. කිංකරණීයයෙහි ව්‍යක්ත වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස මේ ප්‍රථමධර්‍මය වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රකර්‍මයෙකින් දවස නො ගළවයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ දෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂමහණ සස්නට අනුලෝම නොවන ගිහිසංසර්‍ගයෙන් ගිහිපැවිද්දන් සමඟ සසට ව නො වෙසෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ ඉතා අලුයම ගම් නො වදනේ ය. දහවල පන්වා පෙරළා නො එයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා පවත්නේ ය.
තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කෙලෙස් ලියා හරණා චිත්ත විවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථා කැමති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ මහත් සේ ලබන සුලුයේ වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
ථේර වර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
රජනීය සූත්‍රය, වීතරාග සූත්‍රය, කුහක සූත්‍රය, අස්සද්ධ සූත්‍රය, අක්ඛම සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, සීල සූත්‍රය, ථේර සූත්‍රය, සේඛ සූත්‍ර දෙක දැයි දශසූත්‍රයෙකි.