5. 2. 2. 7.
[පඨමඉද්ධිපාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි දහම් පසක් වඩන්නේ ද, දහම් පසක් බිහිලි කෙරේ ද, ඔහු විසින් ද්විවිධ ඵලයන් අතුරින් අන්‍යතරඵලයෙක් කැමැති විය යුතු:- ඉහාත්මයෙහි අර්‍හත්ඵලය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිභාවය හෝ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලත් සමාධියෙන් ... චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ... වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. (අධිමාත්‍ර උත්සාහ සඞ්ඛ්‍යාත) උස්සොළ්හිය පස් වැන්න යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ ධර්‍මපස වඩා නම්, මේ ධර්‍මපස බහුල කෙරේ නම්, ඔහට ද්විවිධඵලයන් අතුරින් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු ය:- ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි.
5. 2. 2. 8.
[දුතියඉද්ධිපාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, මම සම්බෝධියෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූයෙම් බෝධිසත්ත්‍ව වූයෙම් ම ධර්‍ම පසක් වැඩීමි. ධර්‍ම පසක් බිහිලි කෙළෙමි. කවර පසෙක යත්:
ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. වීර්‍ය්‍ය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. උස්සොළ්හිය (අධිමාත්‍ර වීර්‍ය්‍ය) ම පස් වැන්න යි.
මහණෙනි, ඒ මම අධිමාත්‍ර ඊහා පස් වනු කොට ඇති මේ පඤ්චධර්‍මයන් වැඩු හෙයින් බහුල විසින් කළ හෙයින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කළ යුතු යම් යම් ධර්‍මයක් සඳහා අභිඥායෙන් පසක් කිරීමට සිත නැමුයෙම් ද, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි. ...
ඉදින් මම නන් වැදෑරුම් ඍද්ධිවිශේෂයන් අනුභව කෙරෙම්ව යි ... බඹලොව හිම් කොට ද කයින් වශිත්‍වය පවත්වම්ව යි කැමැති වීම් නම්, කරුණු ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි.
ඉදින් මම ආස්‍රවක්‍ෂයයෙන් ... තෙමේම දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරෙම්ව යි කැමැති වීම් නම්, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි යි.
5. 2. 2. 9.
[නිබ්බිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස්දෙනෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලුයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇතියේ, හැම පස්කඳලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලුයේ වාස කරයි. ඔහට මරණසංඥාව තමා තුළ මැනැවින් එළඹ සිටියේ ම වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්.
5. 2. 2. 10.
[ආසවක්ඛය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස් දෙනෙක් ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැමලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණසංඥාව අද්ධ්‍යාත්මයෙහි මොනවට එළඹ සිටියේ ම වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්.
සංඥාවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
සඤ්ඤා සූත්‍ර දෙකය, වඩ්ඪීසූත්‍ර දෙකය, සාකච්ඡා සූත්‍රය, සාජීවසූත්‍රය, ඉද්ධිපාදසූත්‍ර දෙකය, නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය දැයි දසයෙක.