5. 2. 2. 4.
[දුතියවඩ්ඪි සූත්රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, පඤ්චවෘද්ධියෙකින් වැඩෙන ආර්ය්යශ්රාවිකා ආර්ය්යවෘද්ධියෙන් වැඩෙන්නී ය. (ජීවිතයාගේ) සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි. කවර පසෙකින යත්:
ශ්රද්ධායෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රැතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්චවෘද්ධියෙන් වැඩෙන ආර්ය්යශ්රාවිකා ආර්ය්යවෘද්ධියෙන් වැඩෙයි. ජීවිතයාගේ සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි.
17. යම් ආර්ය්යශ්රාවිකාවක් මෙ ලොව්හි ශ්රද්ධායෙනුදු ශීලයෙනුදු ප්රඥායෙනුදු ත්යාගයෙනුදු ශ්රැතයෙනුදු වැඩෙන්නී ද, එබඳු ඒ සිල්වත් උවැසි මෙ අත්බැව්හි ම තමාගේ (ජීවිත) සාරය ගන්නී වෙයි.
5. 2. 2. 5.
[අලංසාකච්ඡ සූත්රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, ධර්මපසෙකින් සමන්වාගත මහණ සබ්රම්සරනට සාකච්ඡාවට යුතු වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශීලසම්පන්න වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ පුළුවුත් ප්රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්රඥාසම්පන්න වෙයි. ප්රඥාසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්ශනකථාව පිළිබඳ පුළුවුත් ප්රශ්න විසඳනුයේත් වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සබ්රම්සරනට සාකච්ඡාවට යුතු වේ ය යි.
5. 2. 2. 6.
[අලංසාජීව සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්මපසෙකින් සමන්වාගත මහණ සබ්රම්සරනට අලංසාජීව වෙයි. (ප්රශ්නපෘච්ඡාවිසර්ජනාඛ්ය ආජීවයෙන් සමානාජීව ඇති වෙයි.) කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සිල්සපන් වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ (අභිසංස්කරණ කරණලද) ප්රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ කළ ප්රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්රඥාසම්පන්න වෙයි. ප්රඥාසම්පත්කථාව පිළිබඳ කළ ප්රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ කළ ප්රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්ශනසම්පත්කථාව පිළිබඳ කළ ප්රශ්න විසඳන්නේත් වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සබ්රම්සරනට අලංසාජීව වෙයි.
5. 2. 2. 7.
[පඨමඉද්ධිපාද සූත්රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි දහම් පසක් වඩන්නේ ද, දහම් පසක් බිහිලි කෙරේ ද, ඔහු විසින් ද්විවිධ ඵලයන් අතුරින් අන්යතරඵලයෙක් කැමැති විය යුතු:- ඉහාත්මයෙහි අර්හත්ඵලය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිභාවය හෝ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්රධාන වීර්ය්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්ය්යය අධිපති කොට ලත් සමාධියෙන් ... චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ... වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්රධාන වීර්ය්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. (අධිමාත්ර උත්සාහ සඞ්ඛ්යාත) උස්සොළ්හිය පස් වැන්න යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ ධර්මපස වඩා නම්, මේ ධර්මපස බහුල කෙරේ නම්, ඔහට ද්විවිධඵලයන් අතුරින් අන්යතර ඵලයෙක් කැමැති විය යුතු ය:- ඉහාත්මයෙහි ම අර්හත්වය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිත්වය හෝ යි.
5. 2. 2. 8.
[දුතියඉද්ධිපාද සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, මම සම්බෝධියෙන් (චතුස්සත්යාවබෝධයෙන්) පූර්වයෙහි ම අභිසම්බුද්ධ නො වූයෙම් බෝධිසත්ත්ව වූයෙම් ම ධර්ම පසක් වැඩීමි. ධර්ම පසක් බිහිලි කෙළෙමි. කවර පසෙක යත්:
ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්රධානසංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය වැඩීමි. වීර්ය්ය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්රධානසංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය වැඩීමි. උස්සොළ්හිය (අධිමාත්ර වීර්ය්ය) ම පස් වැන්න යි.
මහණෙනි, ඒ මම අධිමාත්ර ඊහා පස් වනු කොට ඇති මේ පඤ්චධර්මයන් වැඩු හෙයින් බහුල විසින් කළ හෙයින් විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයක් සඳහා අභිඥායෙන් පසක් කිරීමට සිත නැමුයෙම් ද, ප්රත්යය ඇති වත් ම ඒ ඒ ධර්මයෙහි ප්රත්යක්ෂභාවයට පැමිණියෙමි. ...
ඉදින් මම නන් වැදෑරුම් ඍද්ධිවිශේෂයන් අනුභව කෙරෙම්ව යි ... බඹලොව හිම් කොට ද කයින් වශිත්වය පවත්වම්ව යි කැමැති වීම් නම්, කරුණු ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්රත්යක්ෂභාවයට පැමිණියෙමි.
ඉදින් මම ආස්රවක්ෂයයෙන් ... තෙමේම දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරෙම්ව යි කැමැති වීම් නම්, ප්රත්යය ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්රත්යක්ෂභාවයට පැමිණියෙමි යි.