5. 2. 1. 8.
[ලිච්ඡවිකුමාර සූත්‍රය]
8. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවනවෙහෙර කුළාරපහයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ වේසාලියෙහි පිඬු පිණිස පිවිසි සේක. වේසාලියෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩිසේක් මහාවනයට පිවිස ගෙණ අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි දිවාවිහාරයට වැඩහුන් සේක.
එ සමයෙහි බොහෝ ලිච්ඡවි කුමාරයෝ දියනැඟි දුනු ගෙණ කුකුරු (සුනඛ) ගණා විසින් පිරිවරණ ලදුවෝ මහවෙනෙහි අනුචඞ්ක්‍රමණ කරන්නාහු ඇවිදුනාහු එක්තරා රුක්මුලෙක දිවාවිහාරයට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක සහදියදුනු බහා තබා කුකුරුගණා එකත්පසෙක යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ තුෂ්ණීම්භූත වූවාහු බැඳැඳිලි ඇතියාහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරත්.
එ කල මහානාම ලිච්ඡවි රජ මහවෙනෙහි ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරණුයේ ඇවිදිනුයේ තූෂ්ණීම්භූත ව බඳැඳිලි ඇති ව භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරණ එ ලිච්ඡවි කුමරුන් දිටී දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන් මහානාම ලිච්ඡවිරජ “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි උදන් ඇනී ය.
මහානාමය, තෙපි “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි කවර හෙයින් මෙසේ කියහු.
“වහන්ස, මේ ලිච්ඡවි කුමරුවෝ කායකර්‍මයෙන් චණ්ඩයහ. වාක්කර්‍මයෙන් පරුෂයහ. අවෘද්ධිනිඃශ්‍රිතමානයෙන් තදහ. උක්දඬු වේවයි, ඩෙබර වේවයි, මෝදක (මුං කැරලි) වේවයි, තිලසඟලා වේවයි, කුලයන්හි යම් ඒ පඬුරු කෙනෙක් යවනු ලැබෙත් නම් ඒ පුනපුනා වොලොගෙණ කත්. කුලස්ත්‍රීනට කුලකුමරියනට පසු පසින් ගොස් පිටිපසින් පහර දෙත්. එ මොහු දැන් අත්‍යන්තයෙන් තූෂ්ණීම්භූත ව බඳැලි ඇති ව භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසනා කරති”යි.
මහානාමය, කැත්කුලෙහි උපන් මුදුනෙහි බිසෙස් කළ රජකුට වේවයි පියදත්සැපත් වළඳන රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම්හිමියකුට වේවයි, ගණදෙටුවකුට වේවයි, කුලයෙහි ප්‍රත්‍යෙකාධිපත්‍යය කරණ යම් ම කෙනකුට වේවයි, යම් ඒ කුලපුත්‍රයකුට පඤ්චධර්‍ම ඇත් ද, වෘද්ධිය ම කැමැති විය යුතුය. පරිහානි නො කැමැති විය යුතුය. කවර පඤ්චධර්‍ම ද යත්:
මහානාමය, මෙ ලොව්හි කුලපුත් බාහුබලයෙන් රැස් කොට ගත්, හෙළූ සෝදිය ඇති, දැහැමි, ධර්‍මයෙන් ම ලත්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් උපයා ගත් භෝගයෙන් මාපියන් සත්කාර කරන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය. පුදන්නේ ය. සත්කාර කරණ ලද, ගුරුකාර කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද මාපියෝ ඔහට කලණසිතින් “සැරදේ, දිගා පල්නේ”ය යි අනුකම්පා කරත්. මහානාමය, මාපියන් විසින් අනුකම්පිත කුලපුත්හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයු, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් අඹුදරු දස්කම්කරු පුරිස් සගන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය පුදන්නේ ය, අඹුදරුදස්කම්කරුපුරිස්හු සත්කෘත වූවාහු ගුරුකෘත වූවාහු මානිත වූවාහු පූජිත වූවාහු “සැරදේ, දිගා පල්නේ ය”යි කලණ සිතින් ඔහට අනුකම්පා කරත්. මහානාමය, අඹුදරුදස්කම්කරුපුරිස් විසින් අනුකම්පා කරණ ලද කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු පරිහානියෙක් නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් තමන් කෙත්කමතට අනතුරුකෙත්හිමියන් හා යටවරයනට (බිම් මනන්නන්ට) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනය කෙරෙයි. පූජා කෙරෙයි. සත්කාර කරණ ගුරුකාර ලද බුහුමන් කරන ලද පුදන ලද අනතුරුකෙත් හිමියෝ ද යටවරයෝ ද කලණසිතින් “සැරදේ, දිගා පල්නේය”යි ඔහට අනුකම්පා කරත්. අනතුරුකෙත්හිමියන් හා යටවරයන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදේ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දේවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි වූ, දැහැමින් ම ලද භෝගයෙන් මහණ බමුණනට සත්කාර කරයි. ගුරුකාර කරයි. මානනය කරයි. පූජා කරයි. සත්කාර කරණ ලද ගරු කරණ ලද මානනය කරණ ලද පුදන ලද මහණබමුණෝ “සැරදේ, දිගා පල්නේ ය”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, මහණබමුණන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
මහානාමය, ක්‍ෂිත්‍රිය ජාතිකමූර්‍ධාභිෂික්ත රජකුට වේවයි, පියදත් සැපත් ඇති රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම් හිමියකුට වේවයි, සමූහාධිපතියකුට වේවයි, යම් ම කෙනෙක් කුලයෙහි ප්‍රත්‍යෙකආධිපත්‍යය කෙරෙත් නම් එබඳුවනට වේවයි, යම් කිසි කුල පුතකුට මේ පඤ්චධර්‍මයෝ ඇත් ද වෘද්ධිය ම කැමැති විය යුතු ය. පරිහානි නො කැමැති විය යුතු.