තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදේ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දේවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි වූ, දැහැමින් ම ලද භෝගයෙන් මහණ බමුණනට සත්කාර කරයි. ගුරුකාර කරයි. මානනය කරයි. පූජා කරයි. සත්කාර කරණ ලද ගරු කරණ ලද මානනය කරණ ලද පුදන ලද මහණබමුණෝ “සැරදේ, දිගා පල්නේ ය”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, මහණබමුණන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
මහානාමය, ක්‍ෂිත්‍රිය ජාතිකමූර්‍ධාභිෂික්ත රජකුට වේවයි, පියදත් සැපත් ඇති රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම් හිමියකුට වේවයි, සමූහාධිපතියකුට වේවයි, යම් ම කෙනෙක් කුලයෙහි ප්‍රත්‍යෙකආධිපත්‍යය කෙරෙත් නම් එබඳුවනට වේවයි, යම් කිසි කුල පුතකුට මේ පඤ්චධර්‍මයෝ ඇත් ද වෘද්ධිය ම කැමැති විය යුතු ය. පරිහානි නො කැමැති විය යුතු.
12. හැම කල මාපියන්ගේ කරණී කරණුයේ, අඹුදරුවන් කෙරෙහි හිතැතියේ, අන්තොජනයාගේ අර්‍ත්‍ථසිද්ධිය සඳහා ද යම් ම කෙනෙක් තුලුහු ඇසිරි කොට දිවි වටනාහු වෙත්නම් උනුදුගේ අර්‍ත්‍ථය සඳහා ද කටයුතු කෙරේ නම්,
13. යදිවදන් දන්නේ, සිල්වත් වූයේ, කලුරිය කළ ඥාතීන් හා දිටුදැමියෙහි ජීවත්වන ඥාතීහුයයි උභයඥාතීන්ගේ අර්‍ත්‍ථය පිණිස (වටනේ) වේ නම්,
14. දැහැමින් ගිහිගෙයි වසන එ නුවණැති පුරුෂ මහණබමුණන් හා දෙවියනට සතුටු දනවන්නේ වෙයි.
15. හෙ කලණකම් කොට ප්‍රශංසාවට නිසි වූයේ පූජ්‍ය වෙයි. මෙ ලොව්හිදු ඔහු පසසත්. පරලොව ස්වර්‍ගයෙහිදු විපාකමෝදනායෙන් ප්‍රමෝද කරන්නේ ය.
5. 2. 1. 9.
[පඨමබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ ය. කවර පසෙකින යත්:
මහණෙනි, නිපුණ (සියුම් කරුණු දතහෙන) බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. ආකල්පසම්පන්න (මහණසරුප්) වූයේ දුර්‍ලභ වෙයි. බහුශ්‍රුත වූයේ දුර්‍ලභ වෙයි. ධර්‍මකථික වූයේ වෙයි. වනධර වූයේ දුර්‍ලභ වෙයි.
මහණෙනි, මේ පස්කරුණින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
5. 2. 1. 10.
[දුතියබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. කවර පසෙකින යත්:
සුවච වූ බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. සුරගෘහීතග්‍රාහී වූයේ (මනාසේ ඉගෙණීම ලබන සුල්ලේ) දුර්‍ලභ ය. ප්‍රදක්‍ෂිණාග්‍රාහී වූයේ (දුන් ඔවා පැදකුණු කොට ගරුකොට ගත්නේ) දුර්‍ලභ ය. ධර්‍මකථික වූයේ දුර්‍ලභ ය. වනධර වූයේ දුර්‍ලභ යි.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
නීවරණවර්‍ගය ප්‍රථම යි.
එහි උද්දානය:
ආවරණ (නීවරණ) සූත්‍ර ය, අකුසලරාසි සූත්‍ර ය, පධානියඞ්ග සූත්‍ර ය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍ර ය, උපජ්ඣාය සූත්‍ර ය, ඨාන සූත්‍ර ය, ලිච්ඡවිකුමාර සූත්‍ර ය, බුඩ්ඪපබ්බජිත සූත්‍ර දෙක ය යි දශයෙකි.