5. 2. 1. 6.
[උපජ්ඣාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. එ කල එක්තරා මහණෙක් සිය උපාධ්‍යායයන් කරා එළඹියේ ය. එළඹ සිය උපාධ්‍යායයනට තෙල කී ය: “වහන්ස, දැන් මාගේ කය හටගත් ගුරු බව් ඇතියේ ද වෙයි. දිශාවෝ ද මට නොවටහත්. මට (ශමථවිදර්‍ශනා) දහම්හුදු නො වටහත්. ථීනමිද්ධය ද මා සිත මැඩගෙණ සිටුනේ ය. අභිරති නැතියෙම් (උකැටියෙම්) බඹසර ද සරමි. දහම්හිදු මට විසිකිස (සැක) ඇතැ”යි.
ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරිකයා කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මෙ මහණ මෙසේ කියයි. ‘වහන්ස, මෙ කල මා සිරුර හටගත් ගුරුබව් ඇති වෙයි. දික්හුදු මට නොවටහත්. මට දහම්හුදු නො වටහත් ථීනමිද්ධය ද මසිත් මැඩගෙණ සිටුනේ ය අභිරති නැති ව බඹසර ද සරමි. මට දහම්හි විචිකිච්ඡා ද ඇතැ”යි.
මහණ, ඉන්‍ද්‍රියෙහි නො රැකි දොරටු ඇතියහුට බොජුන්හි පමණ නො දන්නහුට, නිදිවැරුම්හි නො යෙදුනහුට, කුසල්දහම් නො දක්නාහට, පූර්‍වාපරරාත්‍රයෙහි (රෑ පෙරයම පැසුළුයම) බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි නො යෙදී වාස කරන්නහුට, යම් හෙයෙකින් කය උපන් ගුරුබව් ඇති වේ ද, දිසාවෝත් ඔහට නො පැණෙත් ද, ඔහට දහම්හුදු නොවටහත් ද, ථීනමිද්ධය ද ඔහු සිත මැඬගෙණ සිටුනේ ද, අභිරති නැති ව බඹසරත් සෙරේ ද, ධර්‍මයෙහි විචිකිච්ඡාත් ඔහට වේ ද, තෙල කරුණ එසේම වන්නේ ය.
මහණ, එ හෙයින් තා විසින් මෙ කරුණෙහි මෙසේ හික්මිය යුතු: ඉඳුරන්හි රැකි දොර ඇති වන්නෙමි. භෝජනයෙහි මාත්‍රඥ වෙමි. නිදි වැරීමෙහි යෙදුනෙම් වෙමි, කුශලධර්‍මයෙහි විදර්‍ශක වන්නෙමි. පූර්‍වරාත්‍ර අපර රාත්‍රයෙහි බෝධිපාක්‍ෂිකධර්‍මභාවනානුයෝගයෙහි යෙදුනෙම් වාස කරන්නෙමි”යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු යි.
එ කල එ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් ඔවා දෙන ලදුයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති එ මහණ හුදෙකලාව (ගණයාගෙන් හා කෙලෙසුන්ගෙන්) වෙන් ව අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවණට ගිය සිතැති ව වාස කරමින් යම් රහත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම පැවිද්දට වදනාහු ද, අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්ඵලය තමා විසින් දිටු දැමියෙහි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට නොබෝකලෙකින් ම එය ලබා විසී. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැස නිමවන ලද. සිවුමඟ කරණී කරණ ලදී. මේ රහත් බව පිණිස මතු (කටයුතු) අනෙකෙක් නැති යි මොනොවට දැනගත්තේ ය. එ මහණ රහතුන් අතුරෙහි එක් නමෙක් ද වී.
ඉක්බිති අර්‍හත්ත්‍වයට පත් එ මහණ තමාගේ වත්තෙරුන් කරා එළඹියේ ය. එළඹ තම වත්තෙරුනට තෙල බස් කී “වහන්ස, දැන් මාගේ කය උපන් ගුරුසැහැවි නො ඇති ම වෙයි. මට දිශාවෝ පැණෙත්. ධර්‍මයෝ ද මට වටහත්. ථීනමිද්ධයත් මාගේ සිත මැඬගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර ද සෙරෙමි. මට දහම්හිදු විචිකිච්ඡා නැතැ”යි.
ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරික භික්‍ෂු කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භගවත් හට තෙල කරුණ කී:
වහන්ස, මෙ මහණ මෙසේ කියයි: “වහන්ස, දැන් මාගේ කය ද ගුරු සැහැවිනැතියේ ම ය. මට දිශාවෝ ද පැණෙත්. මට දහම්හුදු වටහත්. ථීනමිද්ධයද මා සිත මැඩගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර සෙරෙමි. මට ධර්‍මයෙහිදු විසිකිස නැතැ”යි.
මහණ, ඉඳුරන්හි රැකි දොර ඇතියහුට, භෝජනයෙහි මාත්‍රඥයාහට ජාගරණයෙහි නියැලුනහුට, කුසල්දහම්හි විදර්‍ශනා කරණුවහට, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩීමෙහි යෙදුනහුට, යම් සේ කය උපන් ගුරු සැහැවි නැති වේ ද, දිශාවෝ ද ඔහට වටහත් ද, ධර්‍මයෝ ද ඔහුට වටහත් ද, ථීනමිද්ධය ද ඔහුගේ සිත මැඬගෙණ නො සිටුනේ ද, අභිරති ඇති ව: බඹසරත් සෙරේ ද, ඔහට ධර්‍මයෙහිදු විචිකිච්ඡා නැත් ද, එය එසේ ම වෙයි.
මහණෙනි, එහෙයින් ම තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ඉඳුරන්හි පියූ දොර ඇති වම්හ. භෝජනයෙහි මාත්‍රඥ වම්හ. ජාගරණයෙහි අනුයුක්ත වම්හ. කුශලධර්‍මයෙහි විදර්‍ශක වම්හ. පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි අනුයුක්ත ව වසම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මිය යුතු ය යි.
5. 2. 1. 7.
[ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, මාගමක විසින් වේ ව යි, පිරිමියකු විසින් වේ ව යි, ගිහියකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි මෙ කරුණු පස නිරතුරු පස්විකිය යුතු. කවර පසෙක යත්:
‘ජරා ස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
‘ව්‍යාධි ස්වභාව ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිදියකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
මරණ ස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්කකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.