5. 1. 5. 6.
[පඤ්චසම්පදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, මේ සම්පත්හු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ශ්‍රද්ධාසම්පත් ය, ශීලසම්පත් ය, ශ්‍රැතසම්පත් ය, ත්‍යාගසම්පත් ය, ප්‍රඥාසම්පත් ය. මහණෙනි, මේ පඤ්චසම්පත්හු යි.
5. 1. 5. 7.
[පඤ්චධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ ධනයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාධන ය, ශීලධන ය, ශ්‍රැතධන ය, ත්‍යාගධනය, ප්‍රඥාධන යි.
මහණෙනි, ශ්‍රද්ධාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහයි: “මේ මේ කරුණින් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ ... දෙවිමිනිස්නට ශාස්තෘයහ. සියුසස් අවබෝධ කළහ. භාග්‍යවත්හ”කියා යි. මහණෙනි, මේ ශ්‍රද්ධාධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශීලධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මදපමාදෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශීලධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රැතධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වෙයි ... යම් ඒ දහම්හු ... කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳු දහම්හු ඔහු විසින් ... ප්‍රඥාවෙන් සුප්‍රවිදිත වෙති. මහණෙනි, මේ ශ්‍රැතධනය යි කියනු ලැබේ.
මහණෙනි, ත්‍යාගධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පැහූමල හා මසුරු ඇති සිතින් අගාරයෙහි වෙසෙයි. වුහුටු තෑගි ඇති වෙයි. දන් දෙනුවට දෙවි අත් ඇති වෙයි. දීමෙහි ඇලුම් ඇති වෙයි. යදනට නිසි වෙයි. දේයධර්‍මසංවිභාගයෙහි ඇලුම් ඇති වෙයි. මහණෙනි, මේ ත්‍යාගධනය යි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රඥාවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ සම්‍යග්දුඃඛක්‍ෂයගාමී වූ උදයාස්තගාමී වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාධනය යි කියනු ලැබේ.
මහණෙනි, මේ පඤ්චධනයෝ යි.
52. යමකුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි (මූලජාතවශයෙන්) සුපිහිටියා අචල වේ ද, යමකුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද වේ ද,
53. යමකුහට සඟුන් කෙරෙහි ප්‍රසාදය ඇත් ද, ඍජු දර්‍ශන (සම්‍යග්දෘෂ්ටි) ඇත් ද, ඔහු නොදිළිඳු ය යි කීහු. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
54. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශන හා පුනපුනා යෙදෙන්නේ ය.
5. 1. 5. 8.
[අලබ්භනීයඨාන සූත්‍රය]
[සාවත්‍ථිනිදාන යි:]
48. මහණෙනි, ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි, අන් කිසිවකු විසින් වේවයි නො ලද හැකි කරුණු පසෙකි. කවර පසෙක යත්:
“(මාගේ) ජරාධර්‍මය (ජරා ස්වභාව මා) නහමක් දිරාවා” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, අන් කවර කෙනකුදු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි. මාගේ ව්‍යාධිධර්‍මය මා නහමක් පෙළාවායි යනු ... මරණධර්‍මය නහමක් මියේවා”යි යනු ... ක්‍ෂයධර්‍මය නහමක් ක්‍ෂය කෙරේවා යි යනු ... නස්නා ස්වභාවය නහමක් නැසේවා යි” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි අන් කවරකු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම හෙ මෙසේ නුවණින් නො විමසයි: “එකලා මාගේ ම ජරාධර්‍මය නො දිරයි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ (ඉධාගමන සඞ්ඛ්‍යාත) ආගතිය (පරලෝක) ගතිය, ච්‍යුතිය, උපපත්තිය වේ නම් එ තාක් සියලු සත්ත්‍වයන්ගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම මමත් ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය වැදගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටුසිතැත්තාහු වන්නාහ” කියා යි. හෙ ජරාධර්‍මය දිරත් ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. පරිදේවනා කරයි. ළෙහි අත් පැහැර හඬයි. සිහිමුළාවට යෙයි. මහණෙනි, මෙ අශ්‍රැතවත් පෘථග්ජන විසැති සෝහුලින් විදුනා ලදුයේ ම තමන් තවා ය යි කියනු ලැබේ.