5. 1. 4. 9.
[පුත්ත සූත්රය]
39. මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්:
පුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්ඝරාත්රයෙහි සිටුනේ ය. දායාද්යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්රාප්තිදාන කොට) දක්ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි.
29. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය.
30. බොහෝ කලක් කුලවංශය සිටුනේ ය. දායාද්යය පිළිපදනේ ය. වැලිත් පරලොව ගියවුනට දක්ෂිණා ද දෙන්නේ ය.
31. පණ්ඩිතයෝ තෙල කරුණු පස දක්නාහු පුතකු පතත්. එහෙයින් ශාන්ත, කළ ගුණ දන්නා, කෘතවේදී, සත්පුරුෂයෝ-
32. (මාපියන්) පෙර කළ දෑ සිහි කරමින් ඒ මාපියන් පුස්නාහ. පූර්වොපකාරී වූ ඔවුන්ගේ කිස ඔවුන් කළ පරිදි කරත්.
33. අවවාද පිළිපදිනා, (තමා) පෝෂණය කළවුන් පුස්නා, කුලවංශය නො පිරිහෙළන, සැදැහැති, සිල්සපන් පුත්ර ප්රශංසාර්හ වෙයි.
5. 1. 4. 10.
[මහාසාල සූත්රය]
40. මහණෙනි, හිමවත් පර්වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සාපත්පලුයෙන් වැඩෙත්. තැසෙන් වැඩෙත්. පතුයෙන් වැඩෙත්. බොරුදුයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් රදපවිය නිසා මහරුක්හු මේ වෘද්ධි පසින් වැඩෙත්.
මහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදනෝ වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රැතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි.
34. යම් පරිදි වෙනෙහි ශෛලපර්වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්ෂයෝ වැඩෙත් ද,
35. එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්රදාරයෝ ද බාන්ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්.
36. යම් බඳු විචක්ෂණයෝ වෙත් නම් ඔහු සිල්වත් ඔහුගේ ශීලය හා ත්යාගය හා සුචරිතයන් හා දක්නාහු අනුකරණ කරත්.
37. මෙ ලොව්හි සුගතිගාමීමාර්ගය වූ සුචරිතධර්මය කොට කම්සුව කැමැතියාහු දෙව්ලොව තුටු වන්නාහු (විපාකමෝදනායෙන්) ප්රමුදිත වෙත්.
සුමනාවර්ගය සතර වැනි යි.
එහි උද්දානය:
සුමනා සූත්රය, චුන්දී සූත්රය, උග්ගහ සූත්රය, සීහ සූත්රය, දානානිසංස සූත්රය, කාලදාන සූත්රය, භෝජන සූත්රය, සද්ධා සූත්රය, පුත්ර සූත්රය, මහාසාල සූත්රය, දැයි දශයෙකි.