5. 1. 4. 6.
[කාලදාන සූත්රය]
36. මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
ආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි.
19. හළ මසුරුමල ඇති භාෂිතඥ (බස දන්නා) වූ සප්රාඥයෝ නිසි කල්හි දන් දෙති. තාදී ගුණ ඇති ඍජුභූත ආර්ය්යයන් කෙරෙහි නිසි කල්හි පහන් සිතින් දුන් දැයෙක් වේ නම් ඔහුගේ දක්ෂිණාව විපුල වෙයි.
20. එහි යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ගේ දක්ෂිණාව ඌන නො වෙයි. ඔහුදු පුණ්යභාගීහු වෙත්.
21. එහෙයින් යම් තැනෙක්හි දුන් දැය මහත්ඵල වේ නම් (එහි) උත්කණ්ඨාරහිත සිත් ඇතිව දෙන්නේ ය. පුණ්යයෝ ම සත්නට පරලොව්හි පිහිට වෙති යී.
5. 1. 4. 7.
[භෝජන සූත්රය]
37. මහණෙනි, බොජුන් දෙන දායක ප්රතිග්රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්:
ආයුෂ දෙයි. ශරීරවර්ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්රතිභානය දෙයි. ආයුෂය දී දිව්ය වූ හෝ මානුෂ්ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී ... ප්රතිභානය දී දිව්ය වූ හෝ මානුෂ්ය වූ හෝ ප්රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.
22. ආයුෂය දෙන බලය දෙන, ධෛර්ය්යසම්පන්න වූ ඒ ප්රාඥා සුවයට පැමිණෙයි.
23. ආයුෂය ද බලය ද වර්ණය ද සුඛය ද ප්රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.
5. 1. 4. 8.
[සද්ධා සූත්රය]
38. මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, ලෝකයෙහි පරනට අනුග්රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්යාත ස්වර්ගයට පැමිණෙ යි.
මහණෙනි, සැදැහැවත් කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙක් ඇත.
මහණෙනි, යම් පරිදි මනා බිමෙක්හි සිවුමංසන්ධියෙක වු මහ නුගරුක හාත්පසින් ළිහිණියනට පිළිසරණ වේ ද, මහණෙනි, එසෙයින් ම සැදැහැති කුලපුත් භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන බොහෝ දෙනාට පිළිසරණ වෙයි.