5. 1. 4. 7.
[භෝජන සූත්‍රය]
37. මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්:
ආයුෂ දෙයි. ශරීරවර්‍ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.
22. ආයුෂය දෙන බලය දෙන, ධෛර්‍ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි.
23. ආයුෂය ද බලය ද වර්‍ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්‍ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.
5. 1. 4. 8.
[සද්ධා සූත්‍රය]
38. මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, ලෝකයෙහි පරනට අනුග්‍රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්‍රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙ යි.
මහණෙනි, සැදැහැවත් කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙක් ඇත.
මහණෙනි, යම් පරිදි මනා බිමෙක්හි සිවුමංසන්‍ධියෙක වු මහ නුගරුක හාත්පසින් ළිහිණියනට පිළිසරණ වේ ද, මහණෙනි, එසෙයින් ම සැදැහැති කුලපුත් භික්‍ෂු-භික්‍ෂුණී-උපාසක-උපාසිකා යන බොහෝ දෙනාට පිළිසරණ වෙයි.
24. සා පත් පල යුත්, කැඳැති, හිටි මුල් ඇති, මහාද්‍රැමයෙක් ළිහිණිනට පිහිට වෙයි.
25. රමණී අයිනෙහි පිහිටි එ රුක විහගයෝ ඇසුරු කෙරෙත්. සෙවණ රිසියහු සෙවණට යෙත්. පලැටිහු ඵලාර්ත්‍ථී ව (එහි) යෙත්.
26. එසෙයින් ම ශීලයෙන් සමෘද්ධ, සැදැහැති, යටත් පැවතුම් ඇති, (මානාදීන්) නො තද, සුරතභාවයෙන් යුත්, සම්මෝදක, මාර්‍දව ඇති, එ වන් මිනිසා,
27. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ, ලොව්හි පින්කෙත් වූ රහත්හු ඇසුරු කෙරෙත්.
28. හෙ යම් ධර්‍මයක් ඉහාත්මයෙහි ම පසක් කොට අනාස්‍රව ව පිරිනිවේ නම්, ඒ රහත්හු හැමදුක් දුරලන එ දහම් ඔහට දෙසත්.
5. 1. 4. 9.
[පුත්ත සූත්‍රය]
39. මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්:
පුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්‍ඝරාත්‍රයෙහි සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්‍රාප්තිදාන කොට) දක්‍ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි.
29. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය.
30. බොහෝ කලක් කුලවංශය සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් පරලොව ගියවුනට දක්‍ෂිණා ද දෙන්නේ ය.
31. පණ්ඩිතයෝ තෙල කරුණු පස දක්නාහු පුතකු පතත්. එහෙයින් ශාන්ත, කළ ගුණ දන්නා, කෘතවේදී, සත්පුරුෂයෝ-
32. (මාපියන්) පෙර කළ දෑ සිහි කරමින් ඒ මාපියන් පුස්නාහ. පූර්‍වොපකාරී වූ ඔවුන්ගේ කිස ඔවුන් කළ පරිදි කරත්.
33. අවවාද පිළිපදිනා, (තමා) පෝෂණය කළවුන් පුස්නා, කුලවංශය නො පිරිහෙළන, සැදැහැති, සිල්සපන් පුත්‍ර ප්‍රශංසාර්‍හ වෙයි.