5. 1. 4. 3.
[උග්ගහ සූත්රය]
33. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වෙනෙහි වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, භාග්යවතුන් වහන්සේ සෙට දවස් වියයුතු දන් පිණිස තමන් වහන්සේ සතර වන කොට ඇති සේක් මාගේ බත අධිවාසනා කරණ සේක්ව යි. භාග්යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. එකල්හි මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
එකල්හි භාග්යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටුගේ නිවේසනයට වැඩිසේක. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්සේක. ඉක්බිති මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්යවතුන් වහන්සේ ප්රණීත ඛාද්යභෝජ්යයෙන් සියතින් සැතැප්පී ය, පැවරීය.
ඉන්පසු මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු දන් වැළඳු, පාත්රයෙන් ඉවත් කළ අත් ඇති, භාග්යවතුන් වහන්සේ දැන එකත් පසෙක හින. එකත් පසෙක හුන් මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්යවත්හට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මාගේ මේ දූකුමරියෝ පතිකුලයට යන්නාහ. වහන්ස, භාග්යවතුන් වහන්සේ ඔවුනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් සේ ඔවුනට දීර්ඝරාත්රයක් හිත සුව පිණිස පවත්නේ වේ නම්, භාග්යවතුන් වහන්සේ ඔවුනට එසේ අනුශාසනා කරණ සේක්වා.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එ කුමරියනට තෙල වදාළ සේක: කුමරියෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මෙන්නේ ය: “වැඩ කැමැති හිත කැමැති අනුකම්පා ඇති මාපියෝ අනුකම්පා හේතුවෙන් යම් හිමියකුහට දක්වා දෙත් නම්, ඔහට පළමු නැඟී සිටුනා සුල්ලමෝ පස්ව නින්දට යන සුල්ලමෝ කුම් කෙරෙම් දැ යි විමසා කරණ සුල්ලමෝ මනවඩන පරිදි හැසිරෙන සුල්ලමෝ ප්රියතෙපුල් බණන සුල්ලමෝ වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය. “මව වේව යි, පියා වේව යි, මහණබමුණෝ වෙත්ව යි භර්තෘහුගේ යම් ඒ ගුරුහු වෙත් නම්, ඔවුනට සත්කාර කරම්හ, ගුරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, හමුවට පත් ඔවුන් අස්නෙනුදු පාදෝනා දියෙනුදු පුදම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මෙ කරුණෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්තෘහුගේ එළුලොම් (ගෙතීම්) වේව යි, කපු (කැටීම) වේව යි, යම් ඒ අභ්යන්තර (ගෘහ) කර්මාන්ත කෙනෙක් වෙත් නම්, එ එ විසාහි දක්ෂ වූවමෝ, අනලස් වූවමෝ එහි සංවිධානෝපාය වූ විමසීමෙන් යුක්ත වූවමෝ, කරන්නට නිසි වූවමෝ, කරවන්නට නිසි වූවමෝ වම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමාරියෙනි, මෙ කරුණෙහි මෙසේ ම හික්මෙන්නේ ය: භර්තෘහුගේ දස්හු වෙත්ව යි, ප්රෙෂ්යයෝ (දූතයෝ) වෙත්ව යි, කම්කරුවෝ වෙත්ව යි - යම් ඒ අභ්යන්තර වූ ඇතුළත ජනයෝ වෙත් නම්, ඔවුන්ගේ කළ දෑ කළ විසින් දනුම්හ, නො කළ දෑ නො කළවිසින් දනුම්හ, ගිලනුන්ගේ ද බල - අබල දැනුම්හ. (උවැටැන් කරම්හ). ඒ අන්තොජනයාට ඛාද්යභෝජ්යයනුදු උන් උන් ලදමනා කොටස් විසින් බෙදා දෙම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමාරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්තෘ තෙමේ ධන වේ වයි, ධාන්ය වේ ව යි, රිදී වේ ව යි, රන් වේ ව යි - එ යමක් ම ගෙණ එයි නම්, එය ආරක්ෂායෙන් ගෝපනයෙන් සම්පාදනය කරම්හ, ඔහට ධූර්ති (පුරුෂ ධූර්ති, සුරා ධූර්ති) නො වම්හ, නො සෙර වම්හ, (රහසොඬ ආදීන්) සොඬ නො වම්හ, විනාශිකා නො වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
10. යම් හිමියෙක් හැම කල්හි වීර්ය්ය ඇතියේ උත්සාහවත් වූයේ නිතර ඇය පුස්නේ වේ ද, හැම කැමති දැය ම ගෙණදෙන පුස්නා භර්තෘ වූ එ පුඟුල් අතිමඤ්ඤනා විසින් (ඉක්ම) නො සිතන්නී ය.
11. කළණ එ ස්ත්රී ඊපසාචාරයෙන් (හිතුවා කිරීමෙන්) භර්තෘහු කුපිත නො කරන්නී ය. නුවණැති ඕ භර්තෘහුගේ වැඩිසිටි දනන් පුදන්නී ය.
12. පළමු මැ නැගි සිටුනා සුලු වූවා, අනලස් වූවා, සගත් පිරිවර දනන් ඇත්තී, භර්තෘහට ම නවඩනුවට හැසිරෙයි. ඉපයූ දෑ රක්නි ය.
13. යම් ස්ත්රියක් මෙසේ පවත්නී ස්වාමියාගේ සඳවිසිය අනුව ගියා යම් දේවනිකායෙක්හි ඕ උපදිනී වූ නම්, ඒ දෙවියෝ මනාපකායිකා නීම්මාණරතී නම්හ.