5. 1. 4. 4.
[සීහසේනාපති සූත්රය]
34. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසාලා මහනුවර අබියෙස්හි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි (කැණිමඩුලු යොදා කළ පහයෙහි) වසන සේක. එකල්හි සීහ සේනාපති භාග්යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් සීහ සේනාපති භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, භාග්යවතුන් වහන්සේ සාන්දෘෂ්ටික (තමන් විසින් ම දැක්ක යුතු) දානඵල පණවන්නට හැකිවන සේක් ද හෝ?”යි.
සීහය, ‘හැක්කම්හ’යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත් ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵලයි.
තවද සීහය, දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ. සීහය, යම් හෙයෙකින් දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා ක්ෂත්රිය පර්ෂදකට වේව යි, බ්රාහ්මණ පර්ෂදකට වේ ව යි, ගෘහපති පර්ෂදකට වේ වයි, ශ්රමණපර්ෂදකට වේව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම නො මකුව ම එළඹෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා ක්ෂත්රියපර්ෂදකට වේව යි, බ්රාහ්මණපර්ෂදකට වේ ව යි, ගෘහපති පර්ෂදකට වේ ව යි, ශ්රමණපර්ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම තෙද සහිතව ම එළඹෙයි. මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායක කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙන්නේ වේද, මෙ සාම්පරායික (පරලොව) දානඵල යි.
මෙසේ වදාළ කල්හි සීහ සේනාපති භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සාන්දෘෂ්ටිකදානඵල කෙනෙක් වදාරණ ලදහු නම්, එහි මම භගවද්ගත ශ්රද්ධායෙන් නො එමි. (ශ්රද්ධායෙන් ම නො අදහමි.) මම ද තෙල (ප්රත්යක්ෂයෙන්) දනිමි. වහන්ස, මම දානපති දායකයෙමි. බොහෝ දෙනාහට ප්රියමනාපයෙමි. වහන්ස, මම් දානපති දායකයෙමි. සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්. වහන්ස, මම දානපති දායකයෙමි. මාගේ කල්යාණකීර්ත්ති ශබ්දය උස්ව නැඟින: ‘සිංහසේනාපති දායකය, කාරකය, සඞ්ඝෝපස්ථානකයැ’යී වහන්ස, මම දානපති දායකයෙම් ක්ෂත්රියපර්ෂදකට වේව යි, බ්රාහ්මණපර්ෂදකට වේ වයි, ගෘහපති පර්ෂදකට වේ ව යි, ශ්රමණ පර්ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹෙන්නෙම් නම්, විසාරදයෙම් ම තෙදැතියෙම් ම එළඹෙමි. වහන්ස, භගවත්හු විසින් යම් බඳු මේ සතර සාන්දෘෂ්ටික දානඵල කෙනෙක් වදාරණ ලද්දාහු නම්, එහි මම භගවද්ගත සැදැහැයෙන් නො යෙමි. තෙල කරුණු මම ද දනිමි. වහන්ස, භාග්යවතුන් වහන්සේ ‘සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණේ ය’යි මෙසේ යමක් වදාළ සේක් නම්, තෙල කරුණ මම නො දනිමි. මෙ කරුණෙහි මම් භාග්යවතුන් වහන්සේ පිළිබඳ ශ්රද්ධායෙන් යෙමි (අදහමි)”යී.
සීහය, තෙල එසේ ම ය, සීහය, තෙල එසේ ම ය. දානපති දායක කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට එළඹෙන්නේ ය යි.
14. නො මසුරු මිනිස් තෙමේ දන් දෙනුයේ ප්රිය වෙයි. බොහෝ දෙන ඔහු ඇසුරු කෙරෙත්. කීර්තියට ද පැමිණේ. යශස් ද වැඩේ. සතේජසකව ම පිරිස් වැද ගණී. විශාරද (ඥානසෞමනස්යයට පැමිණියේ) වෙයි.
15. එහෙයින් ම සුව කැමැති පණ්ඩිතයෝ මසුරු මල දුරු කොට දන් දෙත්. ඔහු දිගුකලක් දෙව් ලොව පිහිටියාහු දෙවියන්ගේ සහවාසයට ගියාහු රමණය කරත්.
16. කරණ ලද ආවාස (දෙව්ලොව වාස පිණිස කළකම්) ඇති, කළ කුසල් ඇති ඔහු එයින් (මිනිස් බැවින්) සැව ස්වයම්ප්රභ වූවාහු නදුනුයනෙහි සැරිසරත්. ඔහු එහි සතුටු වෙත්. සිත් අලවා වෙසෙත්. පස්කම් ගුණයෙන් සමර්පිත වූවාහු අනිඃශ්රිත වූ (තෘෂ්ණා දෘෂ්ටිමාන ඇසුරු නො කළ) තාදී ගුණ ඇති භගවත්හුගේ භාෂිතය කොට තථාගතශ්රාවකයෝ ස්වර්ගයෙහි රමණය කෙරෙත්.
5. 1. 4. 5.
[දානානිසංස සූත්රය]
35. මහණෙනි, දානයෙහි මෙ අනුසස් හු පස්දෙනෙක් වෙති. පස්දෙන කවරයහ යත්:
බොහෝ දෙනහට ප්රිය - මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ භජනය කෙරෙත්. කල්යාණ කීර්තිශබ්දය උස්ව පැන නැඟේ. ගිහී ධර්මයෙන් (අඛණ්ඩපඤ්චශීලයෙන්) නොතොර වෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයෙහි උපදනේ යි. මහණෙනි, දානයෙහි මේ අනුසස්හු පස්දෙන වෙති.
17. සත්පුරුෂ ධර්මය අනුව යන දෙන තැනැත්තේ ප්රිය වෙයි. සංයත බ්රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කෙරෙත්.
18. ඔහු ඔහට හැමදුක් බැහැර ලන යම් දහමක් දෙසත් ද, මෙ ලොව්හිදී ම හේ එදහම් පිළිබඳ ආස්රවරහිත වූයේ පිරිනිවේ යි.
5. 1. 4. 6.
[කාලදාන සූත්රය]
36. මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
ආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි.