5. 1. 4. 2.
[චුන්‍දි සූත්‍රය]
32. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල චුන්‍දි රජකුමරි පන්සියක්රිය පිරිවරිනුදු පන්සියක් කුමරි පිරිවරිනුදු පිරිවැරුණී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුනු. එකත්පසෙක හුන් චුන්‍දී රජකුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළා:
වහන්ස, අපගේ භ්‍රාතෘ වූ චුන්‍ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්‍රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි.
වහන්ස, තෙල මම් භාග්‍යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් කෙරෙහි පහන් වූයේ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹෙන්නේ වේ ද, දුගතියට නොයන්නේ වේ ද? වහන්ස, කෙබඳු වූ ධර්‍මයෙක්හි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සඟුන් කෙරෙහි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සීලයෙහි පරිපූරකාරී වූයේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට ම එළඹේ ද, දුගතියට නො යේ ද?
චුන්‍දියෙනි, අපදයෝ වෙත් ව යි, ද්විපදයෝ වෙත් ව යි, චතුෂ්පදයෝ වෙත් ව යි, බහුපදයෝ වෙත් ව යි, රූපීහු වෙත් ව යි, අරූපීහු වෙත් ව යි, සංඥිහු වෙත් ව යි, අසංඥීහු වෙත් ව යි, නෛවසංඥීනාසංඥීහු වෙත් ව යි, යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම්, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයෝ ඔවුනට අග්‍රයහ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වූවාහු නම්, ඔහු අග්‍රයා කෙරෙහි පහන්හ. අග්‍රයා කෙරෙහි පහන් වූවනට අග්‍ර විපාක වෙයි.
චුන්‍දියෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. චුන්‍දියෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍ර විපාක වෙයි.
චුන්‍දියෙනි, සංස්කෘතයෝ වෙත් ව යි, අසංස්කෘතයෝ වෙත් ව යි, යම් තාක් ධර්‍මයෝ වෙත් නම්, විරාගය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: මදනිම්මදනය වූ පිපාසාවිනය වූ ආලයාගේ සමුග්ඝාතය වූ වර්තෝපච්ඡේදය වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ නිර්‍වාණය ය යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
චුන්‍දියෙනි, සඟහු වෙත් ව යි, ගණහු වෙත් ව යි, යම් තාක් සමූහ කෙනෙක් වෙත් නම්, තථාගතයන්ගේ ශ්‍රාවකසඞ්ඝයා ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: චතුෂ්පුරුෂයුග්ම වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ යි. භගවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ගෙනවුත් දෙන දනට නිසි ය. ප්‍රාඝුණ සත්කාරයට නිසි ය. දක්‍ෂිණාවට නිසි ය. අඤ්ජලිකරණයට නිසි ය. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. චුන්‍දියෙනි, යම් කෙනෙක් සඞ්ඝයා කෙරෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
චුන්‍දියෙනි, යම් තාක් සිල් ඇත් නම්, ආර්‍ය්‍යයනට කාන්ත වූ (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූ) සීලයෝ ඔවුනට අග්‍රහයි කියනු ලැබේ. එනම්: අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ නුවණැතියන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධියට හිත පිණිස වූ සීලයෝ යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙහි පරිපූරකාරී වෙත් නම්, ඔහු අග්‍රයෙහි පරිපූරකාරී වෙත්. අග්‍රයෙහි පරිපූරකාරීනට අග්‍රවිපාක වේ ය යි.
6. ඒකාන්තයෙන් (රත්නත්‍රය විෂයෙහි) අග්‍රභාවයෙන් පහන් වූ අග්‍ර ධර්‍මය (රත්නත්‍රයෙහි උත්තමස්වභාවය) දක්නාවුන්ට ද, අනුත්තරදක්‍ෂිණාර්‍හ වූ අග්‍ර බුදුරජුන් කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
7. විරාගයට හා උපශමයට හේතු වූ, සංසාර දුඃඛක්‍ෂය භාවයෙන් සුඛ ඇති, අග්‍ර වූ ධර්‍මයෙහි පහන් වූවනට ද, අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ අග්‍රසඞ්ඝයා කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
8. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙනුවනට අග්‍ර පුණ්‍යය වැඩෙ යි. අග්‍ර ආයුෂ ද වර්‍ණය ද යශස් (පිරිවර) ද කීර්තිය ද සුඛය ද බලය ද වැඩේ.
9. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන අග්‍රප්‍රසාදධර්‍මයෙහි මොනොවට පිහිටි නුවණැතියේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍රභාවයට පැමිණියේ ප්‍රමුදිත වෙයි.
5. 1. 4. 3.
[උග්ගහ සූත්‍රය]
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වෙනෙහි වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවස් වියයුතු දන් පිණිස තමන් වහන්සේ සතර වන කොට ඇති සේක් මාගේ බත අධිවාසනා කරණ සේක්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. එකල්හි මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටුගේ නිවේසනයට වැඩිසේක. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්සේක. ඉක්බිති මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්පී ය, පැවරීය.
ඉන්පසු මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු දන් වැළඳු, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැන එකත් පසෙක හින. එකත් පසෙක හුන් මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවත්හට තෙල සැළ කෙළේ ය: