5. 1. 4. 1.
[සුමනා සූත්‍රය]
31. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි සුමනා රජ කුමරි පන්සියක් රියපිරිවරින් පන්සියක් රජකුමරි පිරිවරින් පරිවෘතව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළා:
වහන්ස, මෙ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමයහ. ශීලයෙන් සමයහ. ප්‍රඥායෙන් සමයහ. එකෙක් දායකය. එකෙක් අදායකය. ඔහු කාබුන්මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙති. වහන්ස, දෙවි වූ (දායක අදායක වන) ඔවුන්ගේ විශේෂයෙක් වන්නේ ද වෙනස් කරුණෙක් ඇති ද හෝ?යි. “ඇත, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ දෙවිවූයේම අසෝ අදායකයා (දන් නො දෙන්නා) දිව්‍ය ආයුෂයෙන, දිව්‍යවර්‍ණයෙන, දිව්‍යසුඛයෙන, දිව්‍යයශසින, දිව්‍ය ආධිපත්‍ය (අධිපතිභාව) යෙනැයි කරුණු පසෙකින් අභිභවන්නේ (යටපත් කරන්නේ) ය. සුමනාවෙනි, යම් දායකයෙක් (දන් දෙන්නෙක්) වේ නම්, හේ දෙවි වූයේ ම තෙල දන් නො දෙනහු මෙ කරුණු පසින් අභිභවන්නේය යි.
වහන්ස, ඉදින් ඔහු එයින් සැව මේ මනුෂ්‍යත්‍වයට එත් නම්, මනුෂ්‍යවූ උන්ගේ විශේෂයෙක් වන්නේ යැ හෝ වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මානුෂක ආයුෂයෙන, මානුෂකවූ වර්‍ණයෙන, මානුෂකවූ සුඛයෙන, මානුෂකවූ යශසින, මානුෂකවූ ආධීපත්‍යයෙනැයි කරුණු පසෙකින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මේ කරුණු පසින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය.
වහන්ස, ඉදින් ඒ දෙදෙන ගිහිගෙන් නික්ම ශාසනයට වදිත් නම් වහන්ස, පැවිදි වූ ඔවුන්ගේ විශේෂයෙක වන්නේය, වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේ ය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම තෙල අදායකයා කරුණු පසෙකින් මැඩගෙණ සිටුනේය: යදනා ලදුයේම (අනුන්ගේ පැවරීමෙන් ම) බහුල වශයෙන් චීවර පරිභෝග කරන්නේය, නොයදනා ලදුයේ අල්ප කොට පරිභෝග කරන්නේ ය. යදනා ලදුයේ ම බහුල වශයෙන් පිඬුවා වලඳන්නේය, නොයදනා ලදුයේ අල්පවශයෙනි. යදනා ලදුයේ ම බහුල විසින් ශයනාසන වළඳ කෙරෙයි, නො යදනා ලදුයේ අල්ප විසින් වළඳනේ ය. යදනා ලදුයේ ම බෙහෙවින් ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳන්නේය, නොයදනා ලදුයේ අල්ප විසිනි.
යම් සබ්‍රම්සරුන් හා වෙසේ නම්, ඔහු (ඒ දායක පැවිදිනට) මනාප වූ ම කායකර්‍මයෙන් බෙහෙවින් හැසිරෙත්. අමනාප කායකර්‍මයෙන් අල්ප විසිනි. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල විසින් හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම උපහාර එළවත්. අමනාප උපහාර අල්පවශයෙනි. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම මේ පස්කරුණින් තෙල අදායක මහණ මැඩ සිටුනේ ය.
වහන්ස, ඉදින් ඔහු දෙදෙන අර්‍හත්‍වයට පැමිණෙත් නම්, අර්‍හත්‍වයට පත් ඔවුන්ගේ විශේෂයෙක් වන්නේය, නානාකරණයෙක් වන්නේය හෝ?යි.
සුමනාවෙනි, මෙ විෂයෙහි මම උන්ගේ කිසිදු නානාකරුණක් නොවදාරමි. එනම්-(එකකුගේ) විමුක්තිය හා (අනෙකාගේ) විමුක්තිය යි. (අර්‍හත්ත්‍වයෙහි වෙනෙසෙක් නොවේ ම ය.)
වහන්ස, අසිරිය, වහන්ස, අද්භූතයි. වහන්ස, දෙවිවුවහුට ද යම් ම පින් උපකාර වේ ද, මිනිස් වූවහුට ද යම් ම පින් උපකාර වේ ද, පැවිදි වූවහුට ද යම් ම පින් උපකාර වේද, එහෙයින් දන්දීම ඉතා නිසි ම ය. පින්කළ යුතු ම ය.
සුමනාවෙනි, තෙල එසේ මැයි. සුමනාවෙනි, තෙල එසේ මැ යි. සුමනාවෙනි, දන්දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවිවුවහුට ද පින් උපකාර වෙයි, මනුෂ්‍යවුවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා එක්බිති තදන්‍යය (තෙල ගා) වදාළ සේක:
1. යම් සෙයින් නිර්‍මල චන්‍ද්‍රයා අහසින් යනුයේ ලොව හැම තරු කැලන් සිය එළියෙන් අභිභවා වොරදනේ වේ ද,
2. එසෙයින් සිල් සපන් සැදැහැති පුරුෂපුද්ගලයා ලොව හැම මසුරන් ත්‍යාගයෙන් අභිභවා වොරදනේ වේ.
3. යම් සෙයින් විදුලිමාලි ඇති, සියගණන් මේකුළු ඇති, ගිගිරිකරණ මේඝය පෘථිවිය තෙමමින් ගොඩවළ පුරවාද,
4. එසෙයින් දර්‍ශන සම්පන්න (සෝවන්) පණ්ඩිත සම්‍යක් සම්බුද්ධශ්‍රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි.
5. ආයුෂයෙන, යශසින, වර්‍ණයෙන, සුඛයෙනැයි (හේ මසුරා දනන්නේය). හෙ එකැතියෙන් දානාඛ්‍යභෝගෞඝයා විසින් (දාන නමැති ජලොඝය විසින් සුගතිය කරා) පමුණුවනු ලැබුයේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද සතුටු වෙයි.