සුමනාවෙනි, තෙල එසේ මැයි. සුමනාවෙනි, තෙල එසේ මැ යි. සුමනාවෙනි, දන්දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවිවුවහුට ද පින් උපකාර වෙයි, මනුෂ්යවුවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා එක්බිති තදන්යය (තෙල ගා) වදාළ සේක:
1. යම් සෙයින් නිර්මල චන්ද්රයා අහසින් යනුයේ ලොව හැම තරු කැලන් සිය එළියෙන් අභිභවා වොරදනේ වේ ද,
2. එසෙයින් සිල් සපන් සැදැහැති පුරුෂපුද්ගලයා ලොව හැම මසුරන් ත්යාගයෙන් අභිභවා වොරදනේ වේ.
3. යම් සෙයින් විදුලිමාලි ඇති, සියගණන් මේකුළු ඇති, ගිගිරිකරණ මේඝය පෘථිවිය තෙමමින් ගොඩවළ පුරවාද,
4. එසෙයින් දර්ශන සම්පන්න (සෝවන්) පණ්ඩිත සම්යක් සම්බුද්ධශ්රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි.
5. ආයුෂයෙන, යශසින, වර්ණයෙන, සුඛයෙනැයි (හේ මසුරා දනන්නේය). හෙ එකැතියෙන් දානාඛ්යභෝගෞඝයා විසින් (දාන නමැති ජලොඝය විසින් සුගතිය කරා) පමුණුවනු ලැබුයේ පරලොව ගොස් ස්වර්ගයෙහි ද සතුටු වෙයි.
5. 1. 4. 2.
[චුන්දි සූත්රය]
32. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල චුන්දි රජකුමරි පන්සියක්රිය පිරිවරිනුදු පන්සියක් කුමරි පිරිවරිනුදු පිරිවැරුණී භාග්යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුනු. එකත්පසෙක හුන් චුන්දී රජකුමරි භාග්යවතුන් වහන්සේට තෙල සැළකළා:
වහන්ස, අපගේ භ්රාතෘ වූ චුන්ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි.
වහන්ස, තෙල මම් භාග්යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් කෙරෙහි පහන් වූයේ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹෙන්නේ වේ ද, දුගතියට නොයන්නේ වේ ද? වහන්ස, කෙබඳු වූ ධර්මයෙක්හි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සඟුන් කෙරෙහි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සීලයෙහි පරිපූරකාරී වූයේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට ම එළඹේ ද, දුගතියට නො යේ ද?
චුන්දියෙනි, අපදයෝ වෙත් ව යි, ද්විපදයෝ වෙත් ව යි, චතුෂ්පදයෝ වෙත් ව යි, බහුපදයෝ වෙත් ව යි, රූපීහු වෙත් ව යි, අරූපීහු වෙත් ව යි, සංඥිහු වෙත් ව යි, අසංඥීහු වෙත් ව යි, නෛවසංඥීනාසංඥීහු වෙත් ව යි, යම්තාක් සත්ත්වයෝ වෙත් නම්, අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයෝ ඔවුනට අග්රයහ යි කියනු ලැබේ. චුන්දයෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වූවාහු නම්, ඔහු අග්රයා කෙරෙහි පහන්හ. අග්රයා කෙරෙහි පහන් වූවනට අග්ර විපාක වෙයි.
චුන්දියෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්රය යි කියනු ලැබේ. චුන්දියෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්රසන්න වෙත් ද, ඔහු අග්රස්ථානයෙහි ප්රසන්නයහ. අග්රස්ථානයෙහි ප්රසන්නයනට අග්ර විපාක වෙයි.
චුන්දියෙනි, සංස්කෘතයෝ වෙත් ව යි, අසංස්කෘතයෝ වෙත් ව යි, යම් තාක් ධර්මයෝ වෙත් නම්, විරාගය ඔවුනට අග්රය යි කියනු ලැබේ. එනම්: මදනිම්මදනය වූ පිපාසාවිනය වූ ආලයාගේ සමුග්ඝාතය වූ වර්තෝපච්ඡේදය වූ තෘෂ්ණාක්ෂය වූ විරාග වූ නිරෝධ වූ නිර්වාණය ය යි. චුන්දියෙනි, යම් කෙනෙක් විරාගධර්මයෙහි පහන්හු ද, ඔහු අග්රයෙහි පහන්හ. අග්රයෙහි පහන් වූවනට අග්රවිපාක වෙයි.
චුන්දියෙනි, සඟහු වෙත් ව යි, ගණහු වෙත් ව යි, යම් තාක් සමූහ කෙනෙක් වෙත් නම්, තථාගතයන්ගේ ශ්රාවකසඞ්ඝයා ඔවුනට අග්රය යි කියනු ලැබේ. එනම්: චතුෂ්පුරුෂයුග්ම වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ යි. භගවත්හුගේ තෙල ශ්රාවකසඞ්ඝයා ගෙනවුත් දෙන දනට නිසි ය. ප්රාඝුණ සත්කාරයට නිසි ය. දක්ෂිණාවට නිසි ය. අඤ්ජලිකරණයට නිසි ය. ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි. චුන්දියෙනි, යම් කෙනෙක් සඞ්ඝයා කෙරෙහි පහන්හු ද, ඔහු අග්රයෙහි පහන්හ. අග්රයෙහි පහන් වූවනට අග්රවිපාක වෙයි.