5. 1. 3. 3.
[උපක්කිලේස සූත්රය]
23. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්ණය මෘදු නො වේ නම්, කර්මණ්ය ද නො වේ නම්, ප්රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්මයට නො පැමිණේ නම්, ස්වර්ණයාගේ මේ ඒ උපක්ලේශයෝ පස් දෙනෙකි.
කවර පස් දෙනෙක යත්: අයස් (කළුලෝහො) ය, ලොහොය, තුබූ (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්ණය මෘදුත් නො වේ නම්, කර්මණ්යත් නො වේ නම්, ප්රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්මයට නො පැමිණේ නම්, මේ ස්වර්ණයාගේ ඒ පඤ්ච උපක්ලේශයෝ යි.
මහණෙනි, යම් හෙයෙකින් ස්වර්ණය මේ පඤ්චඋපක්ලේශයෙන් මිදුනේ වේ නම්, ඒ ස්වර්ණය මෘදු ද කර්මණ්ය ද ප්රභාස්වර ද නො බිඳෙන සුලු ද වෙයි. (යමෙක්) මුඳුවකට වේ වයි, කොඬොලකට වේ වයි, ගෙලපළඳනකට වේ වයි, රන්මාලාවකට වේ වයි, යම් යම් පළඳනා වෙසෙසක් සඳහා කැමැති වේ නම්, ඒ කර්මයට මැනැවින් පැමිණෙයි. එ අර්ත්ථය ද (හෙ) වළඳනේ ය.
මහණෙනි, එ පරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම්, කර්මණ්යත් නො වේ නම්, ප්රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මොනොවට ආස්රවක්ෂය පිණිස සමාහිතත් නො වේ නම්, මේ (චාතුර්භූමක) කුශලචිත්තය පිළිබඳ එබඳු උපක්ලේශයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: කාමච්ඡන්ද ය, ව්යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම් කර්මණ්යත් නො වේ නම්, ප්රභාස්වරත් නො වේ නම්, (අරමුණෙහි) බිඳෙන සැහැවිත් වේ නම්, මොනොවට ආස්රවක්ෂය පිණිස සමාහිතත් නො වේ නම් චිත්තය පිළිබඳ මේ එබඳු උපක්ලේශයෝ පස්දෙන යි.
මහණෙනි, යම් හෙයෙකින් සිත මේ පඤ්ච උපක්ලේශයෙන් විමුක්ත වේ නම්, එ සිත මෘදුත් වෙයි, කර්මණ්යත් වෙයි, නො බිඳෙන සැහැවිත් වෙයි. ආස්රවක්ෂය පිණිස මොනොවට සමාහිත ද වෙයි. අභිඥායෙන් සාක්ෂාත් කටයුතු වූ යම් ම දහම්වෙසෙසක් සඳහා විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත්කරණයට සිත නැඹුරු වේ නම්, ඒ විශෙෂයෙහි ම ප්රත්යය ඇති වත් ම ප්රත්යක්ෂ (කිරීමෙහි භව්ය) භාවයට පැමිණෙයි.
හේ ඉදින් ‘අනේකවිධ ඍද්ධිවිධඥානය අනුභව කරන්නෙමි’යි එකක්ව ම බහුප්රකාරයෙන් වන්නෙමි යි ... බඹලොව්දු තෙක් කයින් වසය පවත්වන්නෙමි”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්රත්යය ඇතිවත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ.
හේ ඉදින් මිනිස්කන ඉක්ම සිටි පිරිසිදු දිවසෝධයින් දිව්ය වූ ද මානුෂක වූ ද දුරුතන්හි වූ ද සමීපයෙහි වූ ද උභයශබ්දයන් අසන්නෙමි’යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්රත්යය ඇති වත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “පරසත්ත්ව පරපුද්ගලයන්ගේ සිත චේතෝපරියායඤාණයෙන් සරාගචිත්තය සරාගචිත්තය විසින් දන්නෙමි යි ... විමුත්ත වූ හෝ සිත විමුත්ත චිත්තය යි දන්නෙමැයි, අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිත ය යි දන්නෙ මැ යි” කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ප්රත්යය ඇති වත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “අනේකවිධපූර්වේනිවාසය සිහි කෙරෙමැයි එනම්; එක් ජාතියක් ද ජාති දෙකක් ද ... (කියා) මෙසේ අනේකවිධපූර්වේනිවාසය සිහි කෙරෙමැ”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ දිවැසින් ... කම් වූ පරිද්දෙන් මිය යන සත්ත්වයන් දැනගන්නෙමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “ආස්රවයන්ගේ ක්ෂයයෙන් ආස්රවරහිත චිත්තවිමුත්තිය, ප්රඥාවිමුක්තිය ... ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කරමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්රත්යක්ෂභාවයට පැමිණේ ය යි.
5. 1. 3. 4.
[දුස්සීල සූත්රය]
24. මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. සම්යක්සමාධිය නැති වත් ම නට සම්යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්ශනය නැති වත් ම යථාභූතඥානදර්ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.
මහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු (එළය ද) හරය ද පරිපූර්තියට නො යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම නට සිල් ඇති දුසිල්හුගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇතියේ වෙයි ... විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ සම්යක්සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්යක්සමාධිය ඇති වත් ම සම්යක් සමාධිසම්පන්නයාගේ යථාභූත ඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇති වත් ම යථාභූතඥානදර්ශන සම්පන්නයාගේ නිබ්බිදා හා විරාගය උපනිඃශ්රය සම්පන්න වෙයි. නිබ්බිදා හා විරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
මහණෙනි, අතුකොළ සපන් රුකෙක් යම් බඳු වේ නම්, එහි පොතුදු පරිපූර්තියට යෙයි. සිවිදු පරිපූර්තියට යෙයි. බොරුදු පරිපූර්තියට යෙයි. හරය ද පරිපූර්තියට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් සිල්සපන් සිල්වත්හුගේ සම්යක්සමාධිය උපනිඃශ්රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්ශනය (උපනිඃශ්රයසම්පන්න) වෙයි.