5. 1. 3. 4.
[දුස්සීල සූත්රය]
24. මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. සම්යක්සමාධිය නැති වත් ම නට සම්යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්ශනය නැති වත් ම යථාභූතඥානදර්ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.
මහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු (එළය ද) හරය ද පරිපූර්තියට නො යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම නට සිල් ඇති දුසිල්හුගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇතියේ වෙයි ... විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ සම්යක්සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්යක්සමාධිය ඇති වත් ම සම්යක් සමාධිසම්පන්නයාගේ යථාභූත ඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇති වත් ම යථාභූතඥානදර්ශන සම්පන්නයාගේ නිබ්බිදා හා විරාගය උපනිඃශ්රය සම්පන්න වෙයි. නිබ්බිදා හා විරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
මහණෙනි, අතුකොළ සපන් රුකෙක් යම් බඳු වේ නම්, එහි පොතුදු පරිපූර්තියට යෙයි. සිවිදු පරිපූර්තියට යෙයි. බොරුදු පරිපූර්තියට යෙයි. හරය ද පරිපූර්තියට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් සිල්සපන් සිල්වත්හුගේ සම්යක්සමාධිය උපනිඃශ්රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්ශනය (උපනිඃශ්රයසම්පන්න) වෙයි.
5. 1. 3. 5.
[අනුග්ගහිත සූත්රය]
25. මහණෙනි, කරුණු පසෙකින් අනුගෘහීත වූ (විදර්ශනා) සම්යග්දෘෂ්ටිය මාර්ගඵල සමාධිය ඵල කොට ඇත්තී ද මාර්ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වෙයි. ප්රඥාවිමුක්තිසඞ්ඛ්යාත ඵලඥානය ඵල කොට ඇත්තී ද ප්රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තී ද වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සම්යග්දෘෂ්ටිය ශීලයෙන් අනුගෘහීත ද වෙයි. ශ්රැතයෙන් අනුගෘහීත ද වෙයි. ධර්මසාකච්ඡායෙන් අනුගෘහීත ද වෙයි. (චිත්තෛකාග්රතා සඞ්ඛ්යාත) ශමථයෙන් අනුගෘහීත ද වෙයි. විදර්ශනායෙන් අනුගෘහීත ද වෙයි.
මහණෙනි, මේ පසඟින් අනුගෘහීත වූ සම්යග්දෘෂ්ටිය චිත්තවිමුක්තිය ඵලය කොට ඇත්තීත් චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි. ප්රඥාවිමුක්තිය ඵල කොට ඇත්තීත් ප්රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වේ ය යි.
5. 1. 3. 6.
[විමුත්තායතන සූත්රය]
26. මහණෙනි, යම් විමුත්තිකාරණයන්හි අප්රමත්තව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම්, අපරික්ෂීණ වූ හෝ ආස්රවයෝ පරික්ෂයට යෙත් නම්, අනුත්පන්න හෝ අනුත්තරයෝගක්ෂේමයට අනුප්රාප්ත වේ නම් (එබඳුවූ) විමුත්තායතනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්යතර ගුරුස්ථානික සබ්රම්සරෙක් වේ ව යි චතුස්සත්යධර්මය දේශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්ත්ථය පිළිවිදුනා ධර්මය පිළිවිදුනා ඔහට ප්රමෝදය (තරුණප්රීතිය) උපදනේ ය. ප්රමුදිතයා හට බලවත් ප්රීතිය උපදනේ ය. ප්රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය අතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්ෂීණ වූ ආස්රවයෝ හෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්රාප්ත වූ හෝ අනුත්තරයෝගක්ෂේමයට (අර්හත්ත්වයට) අනුප්රාප්ත වේ නම්, මේ ඒ ප්රථම විමුක්තායතන යි.
(2) තවද මහණෙනි, භික්ෂුහට ශාස්තෘ හෝ අන්යතර ගුරුස්ථානික සබ්රම්සරෙක් හෝ ධර්මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්මයෙහි අර්ත්ථය පිළිවිදුනේ ද, ධර්මය පිළිවිදුනේ ද වෙයි. අර්ත්ථය පිළිවිදුනා ධර්මය පිළිවිදුනා ඔහට ප්රමෝදය උපදනේ ය. ප්රමුදිතයාහට ප්රීතිය උපදනේ ය. ප්රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි.