5. 1. 2. 5.
[බලදට්ඨබ්බ සූත්රය]
15. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, වීර්ය්යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්රඥාබල යි.
මහණෙනි, ශ්රද්ධාබලය කොතන්හි දැක්ක යුතු ද? සතර සෝතාපත්යඞ්ගයෙහි ය. (අධිමෝක්ෂලක්ෂණ) ශ්රද්ධාබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, වීර්ය්යබල කොතන්හි දැක්ක යුතු ද? සතර සම්යක්ප්රධානයෙහි ය. (ප්රග්රහලක්ෂණ) වීර්ය්යබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, ස්මෘතිබල කොතන්හි දැක්ක යුතු ද? සතර සීවටනෙහි ය. (උපස්ථාන ලක්ෂණ) ස්මෘතිබල එහි දැක්ක යුතුයි.
මහණෙනි, සමාධිබල කොහි දැක්ක යුතු ද? සියුදැහැනෙහි ය. (අවික්ෂේප ලක්ෂණ) සමාධිබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, ප්රඥාබල කොහි දැක්ක යුතු ද? සතර ආර්ය්යසත්යයෙහි ය. (ප්රජානනලක්ෂණ) ප්රඥාබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, මේ පඤ්චබලයෝ යි.
5. 1. 2. 6.
[බලඅග්ග සූත්රය]
16. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, වීර්ය්යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්රඥාබල යි.
මහණෙනි, මේ පඤ්චබලයෝ වෙත්. මහණෙනි, මේ පස්බල අතුරින් තෙල අග්ර වෙයි, තෙල සාඞ්ග්රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කිමෙක යත්: ප්රඥාබල යි.
මහණෙනි, යම්සේ කූටාගාරයාගේ තෙල අග්රය වේ ද, තෙල සාඞ්ග්රාහික වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එනම් කූටය යි.
මහණෙනි, එපරිදි ම මේ පඤ්චබලයන් අතුරින් තෙල අග්රය වෙයි, තෙල සාඞ්ග්රාහිකය වෙයි, තෙල සඞ්ඝාතනිය වෙයි. එනම්, ප්රඥාබල යි.
5. 1. 2. 7.
[අත්තහිත සූත්රය]
17. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, පරහිතපිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සිල්සපන් වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්රඥාසම්පන්න වෙයි, මෙරමා ප්රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න වෙයි, මෙරමා විමුක්ති සම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්ශනසම්පන්න (ප්රත්යවේක්ෂණඥානසම්පන්න) වෙයි, මෙරමා විමුක්තිඥානදර්ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේ නො වෙයි.